5/11/11

රතු කමිසය [සින්ඩි ගත වන්නට පෙර මෙහි ම පළ කළ කවියක්]


[කවදාවත් නිමා නොවන රතු කමිසේ කතාව නැවත සිහිපත් කරන්නට සිදුව තිබේ] 

රතු කමිසය
අඳින්න ද හෙට?

කළින් නම් හැම දාම ඇන්දා
බොහොම වැදගත්කමට තිබුණා
හෙට ත් අඳිමු ද?

පාසලේ නො ව හන්දියේ වූ
අසම්මතයේ පන්තියේ දී
සහෝදරයින් සමග ඇන්දා
මුලින් රතු කමිසේ…

සරසවියට ත් පැමිණිලා
නිළවරණෙට ත් පිවිසිලා
නිදා ගත්තෙත්
කෑවෙ බිව්වෙත්
සමග රතු කමිසේ…

සරසවියේ දී සංගමේ
මග තොටේ උද්ඝෝෂණේ
පෙරහරේ දිග මැයි දිනේ
නො හැර මා හා
සිටිය රතු කමිසේ…

අඳින්න ද හෙට?

රැළක් සමඟින් විසි වෙලා
විරැකියාවෙන් මිරිකිලා
වෛරයෙන් කෑ ගැසූ විට දී
නැගුණ දහදිය
මං හිතන්නේ වේලිලා

රැළටවත් සමු නොදී රහසේ
මහ රැයේ අබිනික්මණින් පසු
තනි ව බුදු වන
පුද්ගලික ආයතනයේ
හෙට යි සම්මුඛ පරික්ෂණේ

රතු කමිසය
අඳින්න ද හෙට?

5/3/11

රජ කතාවක්

සිතේ අනුලාවන්
සොයතිය විශාකාවන්
කලකට පසු ඉතින්
යශෝදර හැර කරති නික්මන්

මහරජු එතැන් සිට
රැය නෙක ලෙනෙහි ගත කොට
ගෙන දරු බර කරට
සෝමාව බැස ඇතේ පාරට

4/30/11

මාළුවාගේ ජිවන චක්‍රය

[කතන්දරගේ චිකන් පාටියට මගෙන් මාළු දීසියක්]

කඩවල ඉන්න මාළුන් රසකර උයලා
එතනට එන්නේ සීතල පෙට්ටි
යෙ ඉඳලා
ඒකත් ට්‍රෝලරේ හොඳටම කල් මරලා
ජිවිතයට වඩා ඌ ඉන්නේ මැරිලා

එතනින් නොනැවතේ දිවි චක්කරය උගේ
ඔක්කොම මාළු නොම විකිනෙයි දවස අගේ
එම ඉයු මාළු බැදලා ලැමිනේට් වගේ
හෙට හා අනිද්දා කඩ බක්කියට නැගේ

ඔක්කොම එකතු කල විට එක එක මාළු
පරපුරු ගණන් එක කඩයක විකිණේ ලු
මුහුදේ ඉන්න කාලෙදී නොම හමු වේලු
බක්කියෙ ෆැමිලි ගෙට් ටුගෙදර සැමරේ ලු   

4/18/11

අහඹු සිතුවමක් [DJPට ලියු පිළිතුරක්]

දැන දැන ම නුවූවත්
අප අඳින සිතුවමක්
ඉතුරු වනු ඇත දිනෙක

එහෙත් එය අඳින්නේ
වෙන ම තිරයක නොවේ
එහි අඳින වර්ණ හැඩ
අපට රිසි ලෙස නොයේ

නෙක වර්ණ පැටලවූ
කැමෆ්ලාජ් හැඩි බිමක
අහු වෙච්ච පාටකින්
අහඹු ලෙස කලබලෙන්
රිසි නොරිසි බව නොදැන

සිතුවමක් අඳිනු ඇත

ජීවිතේ පිණි බිඳට
හිරු ගින්න එන්න පෙර

4/8/11

ජීවිතය [නැවත පළ කිරීමක්‌]

[හරියටම වසරකට පෙර පළ කළ එක් කවියක්
කවිය නොවෙනස් ව ගෙවී ගිය හිස් වසරක්]

ගෙවෙන තරමට තවත් අලුත් වන
අලුත් වන තරමට ම රස පිරෙන
පිරෙන තරමට හිතෙන් තලු මරන
තලු මරනවා විනා
රස විඳින්නට ඉඩක් නොම ලැබෙන
අනාගත සැළසුම්කරණයකි නො නවතින

3/21/11

දේවාලය

සුවිසල්  නුගරුකට
බැඳුනු බිත්තිය ඉරිතලා ගොස්

කළු අඟුරු වේලිච්ච පහනේ
රේන්ද ගොතනා මකුළුවන්
තිරපට දිරාපත්
මළ කෑ කූරු දොර මත
වැනි වැනි මන්ද මාරුතයේ

සියවසකට කලින්

ගං තුලානේ වැස්සන්
හිත් ගිනි නිවන්නට
වයිර පිරිමහ ගන්නට
දිව එන සුරබිදෙන

මහතුන් නිති පැමිණ

දොවා රුක්මුල කිරියෙන්
පලතුරු සුවඳ දුම්
නිතර කල පුද පූජා

ගොම්මන් කලුවරට

නුග රුක කරා වඩිනා
ගම්මුන් නිතර දුටු
කොහිද ඒ දේවතා එලි දැන්

කාලයෙ මායාව
නොකලද මනස ධනවත්
දෙපයින් නැගූ මග
යන්ට උන්හට තිබේ බස් රිය
හාස්කම් මායා
ඉන්ද්‍රජාලික විස්කම්
හඬගා කියන්නට
ඇතේ උන්හට විදුලි අඬබෙර

පිරිවර අහිමි වී

වල් වැදී ගිය පුදබිම
පූසාරිටත් අමතක

කාලයේ ඔච්චම
මැදහත්ව ඉවසා වදාරන
එතුමෝ තිරය පිටුපස
අඩවන් වූ නෙතින්
හිස් අහස දෙස බලමින්

මහමග යන නොයන

මහා බලගතු ඇත්තෙක්
කවදා හෝ දිනෙක
දැනී යටගිය අනුහස්
කර යලි පිළිසකර
ගෙනෙන තුරු මහ පිරිවර

අඩවන් වූ නෙතින්

තනිව යදිනා දෙවිඳුන්

3/10/11

මාර්තු අට

හෙලු කඳුළු එකතු කලොත්
මහ මුහුදත් ගොඩට ගලයි
විඳින දුකට නින්දාවට
මහ පොළොවත් කම්පා වෙයි

හැම දා හැම දේ විඳ ගෙන

උන්නු එකට වන්දි ලෙසට
එක දවසක් සමරන්නට
මහ අයිතිය නුඹට හිමියි
 

කිසා ගෝතමීල එක්ක
පටාචාර වැලපෙන කොට
මහවාසල බිසෝ උන්දැ
පාර දිගේ උද්ඝෝෂණ

දියවු අපට අපේ රයිට්ස්


එක දවසක් කෑ ගැහුවම

අවුරුද්දම බඩ පිරෙයිද?