6/30/09

වැදගත්කම යනු

පාණාතිපාතාවකින් අරඹා
අදින්නාදානාවෙන් උපයා බඩ වියත
කාමේසුමිච්චාචාරාව ද හමු වී
සුරාමේරයෙන් නිවසට වැඩම කළ
කැත කුණු ඊයේ දිනය

විසූක දස්සන මාලාවෙන් වසා ‍
ගන්ධ විලේපනයකින් සුවඳ කර
මුවා වී මුසාවාදයකට
උස් අසුනෙක හිඳින
ගාම්බීර වූ මිනිසෙකි

6/26/09

කෝච්චිය

දිනය හතරට නවා
කන්තෝරු පැසේ ලා
දිව ඇවිත් හති අරින
මිනිස් රැළ

පොදි කකා එබි එබී
දැල්වෙයි ද දැන් කියා
නෙත අසන සිත පතන
කොළ එළිය

උනා ලූ අද දවස
දොස් නිදොස් දුක සතුට
කොත්තු රොටියක් වගේ
කච බචය

සෙනෙහසේ නවාතැන
සරසවා පිළි ගන්ට
ඔරලෝසුවට බණින
පිය බිරිය

ලොසින්ජරයත් සමග
උණුහුමයි හාදුවයි
ලැබෙන තුරු මග බලන
පොඩි දෑස

හැමෝගෙම සුභ සිහින
කඩා සුණු විසුණු කර
ඔච්චමට ඉඟි මරන
රතු එළිය

6/25/09

දෙන්න ද නොදෙන්න ද?

වෙවුලන දෙ අත්
පැටලෙන හැඩි දෙපා
එනමුත් එපා
අසුනක් බස්රියේ
හිටගෙන කියන
අගමුල නැති කතා

අම්මා ලෙඩ ඇඳේ
නංගිත් මල්ලියත්
යා යුතු පාසලට
බිරිඳත් මිය ගොසින්
පිළිකාවක් සැදී
ඉන්නේ පොඩි එකා
පසු පස අසරණ ව

ඔබ දෙන රුපියලෙන්
නොවෙදෝ දිවි රැකෙනු
මහ මෙර තරම් පින්
සුර ලොව නෙක වරම්

දෙන්න ද නොදෙන්න ද?
දෙ ලොවක් අතර මා

දෙයියන්ගෙ පිහිටෙන්
අතපය ඇත යසට
පඬිවරයෙක් කියයි
නොහැකි ද කරන්නට
රැකියාවක් වෙනත්?

හොරකම තමයි
වෙන මොනවා කරන්න ද?

පොඩි නෙත් අසරණ ව
වට පිට සිරි අතර
පාසල් වෙලාවේ
මහ මග සරසවිය
මෙය යි උගෙ පන්තිය

දෙන්න ද නොදෙන්න ද?
දෙ ලොවක් අතර මා

නැහැ පුඬු දවන ගඳ
ගෙඩි නැති පොල් සුවඳ
නුඹ ළඟ අඩු නැති ව

ලැබෙනා සොච්චමෙන්
නුඹ රස මන් පුරා
කීය ද ලැබෙන්නේ
අසරණ පොඩි අතට

ගිනි අව්වේ දැවී
වැස්සේ තෙමි තෙමී
පසු පස පිය මනින
අසරණ නෙත් දෙකට

දෙන්න ද නොදෙන්න ද?

ලාබෙට ගන්න හැකි
ඉක්මන් පින් පතා
දෙන්නට දෙකේ කැට
පින්වන්තියෝ
පොර කති පෝළිමේ

කාසිය හඬ නැගූ
අවලම් සිනහවක්
ඒ නුඹට ද මට ද?
නැතොත් පින්වන්තියට ද?

මාලතී

සුපිපී වැරදි තැන
ඉහළ මල් තුරු වියනක
නො බලන් පහළ දෙස
පුංචි මල් මාලතී

අතු නටු කටු ඇතත්
චණ්ඩ සුළඟින් සැළෙතත්
නො හැරෙන් මාලතී
දිවා ගින්නෙන්
දැවෙන පොළොවට

තුරු වියන නුඹ ගෙන
නැඟී යයි නිල් අහසට
නො හැරෙන් මාලතී
ඉහළ මිස
නැත නුඹට පහළක්

ටයි පටිය

දුරාතීතේ එරොප්පෙන් විත්
අපේ ගම්බිම් උදුර ගන්නා
සුදු “මහත්තුරු” එක්ක හිටියා
උන්ගෙ කමිසය ගැට ගසා ගෙන
ගාම්බීර ව නුඹ…

නොදත් බසකින් අකුරු අහුලා
නොදන්නා ආගමක් වැඳලා
සිවිල් සේවෙට ඇතුළු වෙන්නට
පෙරුම් පිරුවා අපේ උන්
දැක නුඹේ නෙක උජාරුව

පුංචි කාලේ අපේ ලොකු අය
යනෙන විට ගරු සරු ගමන්
ඉඳල හිටලා නුඹ ඔතන්නට
නුඹේ හැඩරුව නැති නො වන්නට
අනේ විඳි දුක් ගැට ගහන්නට

අපත් දවසක ලොකු වෙලා
ඉන්න හැටි නුඹ පළඳ ලා
සිගින මැව් හැටි පුංචි කාලේ
සිහින බිඳිලා හැඬූ පොඩි උන්
විබාගේ වී අබාගේ

යන්තමින් විත් මතු වෙලා
යන්ට වාසිටි ලකුණු තිබු විට
උන්ගෙ පැතුමන් අප දකින්නට
නුඹත් සමඟින් මතු දිනේ

අහම්බෙන් වී මග පමා
දුවන විට වැඩ පොළ බලා
අයාලේ යන අළුත් තරුණෙක්
සිටියි ඔහු ගෙල නුඹ වෙලා
රටින් ගෙන ආ අරුම කොස්සක්
විකුණ ගන්නට මග දිගේ

නුඹත් සිටියා අපූරුවටම
මග බලාගෙන
ඔහෙ වෙලා ගෙන

අනේ නුඹටත් ගිය කලක්
ගෙයින් ගෙට යන කොසු ඉදල් ගෙන
සරම කමිසේ වෙළෙන්දාට ත්
විකුණ ගන්නට හැකි වුණා
නුඹට වැඩියෙන් කොසු ඉදල්

ඔබ [අමතක නො වන දවසක]

සඳවතේ කාන්තිය
ඔබ ගතේ දැවටිලා
නිසළ රෑ සසල වී
ගිගුම් දේ හද ගැස්ම

නිසොල්මන් වී තිබූ
කේඬෑරි ජීවිතේ
පණ ගසා අවදි වී
ඔබේ සෙනෙහස් දියෙන්

ආත්මය නිවාලන
නිරාමිස හසරැල්ල
නෙතු කොණේ දඟ කරන
අනුරාගි ගිනි දැල්ල
එකට කැළතී මැවුණු
සිත්තමක් දෝ ඔයා

ජීවිතෙන් ජීවිතය සොයා දුන්
උණුහුමට
සෙනෙහසට
සදා ණයගැතියි මා
ඔබෙ නමට

දයාබර සෙනෙහසින්
රසාළිත හාදුවෙන්
සරාගී සිහිනයෙන්
මා වෙළන
ඔබ මගේ ආදරය
ඔබ මගේ ජීවිතය
ඔබ මගේ ආත්මය

පූනරින් සමරා [2008 නොවැම්බර්… පළමු ජය]

නසන්නට නොව රකින්නට රට පෙරට ගිය අප දූ පුතුන්
නරුම රැළකට පැන දුවන්නට පහර දුන් හැටි රණ ගොසින්
සියළු කරදර පසෙක ලා දිවිය ද පුදා තම ලේ මසින්
බොහෝ කලකට නොවේ අමතක මුදා ගත් හැටි පූනරින්

තමන් රැකුමට දැයක් බිලිදෙන නරුම කොටි රැළ රුහිරු බුදිනා
රටෙන් පැනගිය හොර රැළක් වේ සතෙන් සතයට උනට පුදනා
තමන් හා එක කුස උපන් උන් බලෙන් යුදයට තල්ලු කරනා
විට දි උන් සැම සතුටු වන්නේ තමන් රට පැන ගත්ත බැවිනා

සියවසේ විසි එක් වැනි ත් මුන් තවම ඉන්නේ ගල් යුගේ
ලොව පුරා මේ වැනි එවුන් හට වැට බැඳේ මේ නව යුගේ
නොම විරූ ලෙස ත්‍රස්තවාදය නසන හැටි නම් හරි අගේ
හෙට දිනේ එය ලෝ දනන් හට කියා දෙන්නෙත් අප වගේ

පොළින් පොළ බැඳි නරුම බලකොටු එකින් එක නිති ජය ලබන්නයි
ගතින් වෙහෙස ද අතුරු අනතුරු අඩු වෙලා ඔබෙ දිවි රැකෙන්නයි
තමන් හිරවුණු යකඩ අඬුවෙන් දමිල සොයුරන් මුදා ගන්නයි
ලෙයින් සුරැකුනු දැයේ හෙට දින එකට ජය පැන් බෙදා ගන්නයි