3/8/14

සමන්තයා

මල් වට්ටියෙන් පිරිකරයෙන් ගොඩ දැම්ම
පන්සල් පෙට්ටිකඩ පරයා පැන පිම්ම
ඉල්ලන දෙයක් ඇති ෆුඩ් සිටියක් දැම්ම
මල් මල් වෙළෙන්දෙකි සමන්ත සිරිධම්ම

කොපමණ ඇතත් කරනා අකුසලෙහි බල
සිල්ලර කාසියෙන් එය අවලංගු කළ
නිර්ධනයින්ට නිර්වාණය අහිමි කළ
දැක්කද දහම් පදයට ඔහු කියපු මිළ

ස්පෝකන් රහත් පන්තිය මාස තුනේ
ඔහුගේ දෙතිස් ලක්ෂණයෙන් එලිය උනේ
සමන්තයාණන් බුදු බව ලබපු දිනේ
චෞර රැජිනියෝ කිරිපිඬු ගෙනෙනු පෙනේ

රට ගැන හිතන විට කිසිවිට නැති යාළු
රජයේ විපස්සේ කුණු එක් කෙරුවාලු
වේලෙන්නට නියම පත්තර කඩමාළු
ඔහුගේ සුලුදියෙන් තෙත් වී පණ ඒ ලු

ආතල් එකේ කරනා මැටි වැඩ ගොන්න
ආතල් කැඩුණු විටවත් පහදා ගන්න
සමන්තය කියා කවුරුත් නැහැ ඔන්න
සමන්තගෙන් ඔබ ගැන ඔබ කියවන්න


ඇදහිලි විශ්වාස ආගම් නමින් කියා 
ධන බිලි පුදන කපුවන් හට දෙනෙත් පියා
කවුරුත් කරන ගොන් වැඩ පොඩි මෝඩ ක්‍රියා
ලොකු කර බලන කණ්නාඩිය සමන්තයා

12/16/13

බුකි කවි

නොකවී කවි වන
කුකවි කිවි වන
බුකිය හැමතැන
දමනු බැරිකම

ලයික් මල්දම්
'පට්ට' සැරසුම්
මිතුරු පැසසුම්
රැගෙන පළඳින්

එකෙකු ඉඳහිට
දකියි එහි කැත
කියනු ඔහුහට
මගෙයි මෙම බිත

රිසි ය කරනට
රිසි දෙයක් මට
පාන් දෝ තොට
මගේ කවිකට

අකුරු ලියවෙති
අදහසක් නැති
කවිය වනසති
කිවිහු වැජඹෙති

11/22/13

ලීස්තර

[ෆේස්බුක් සොඳුරු කවිකාරිය රසිකා ගුණවර්ධනගේ පදපෙලක ඉතිරිය මෙහෙම සටහන් කලෙමි. කවියේ පළමු පද පෙළ රසිකාගේ. මෙහි පල කරන්නේ අවසරය සහිතව]

මධ්‍යාහ්න හිරු තාප ඉවසමින්
ඉස්තෝප්පු වල රංචු ගැසී
උකුණන් බලන ගැහැණු


ඉරිතැලුණු දාර දිගේ
බින්කුණ්ඩන් කළු කූඹින්ට ඔච්චම් කරන
කොළ පාට රතුපාට
සිමෙන්ති පොලොවවල්

බීරළු ලීස්තර
කොන් ගැලවුණු ලැටිස් පටි
පත කොස් උළුවහු
සාලෙකට දෙක තුනක්

දඩස් බඩස් ලී සොල්දර

කාලය නිසොල්මන්ව ඔහේ ගෙවෙන
මිනිස්සු රේඩියෝ අහන
ටී වී නොදන්න

ඉඳහිට පාරක රෝද හතරක්
එන්ජිමකින් එළවෙන
තිරික්කලේ නිරන්තරේ කිරිස් කිරිස් ගාන

අතීත සැමරුම් සිහින
අපිත් එක්කම වයසට යන

8/19/13

චන්දය

පොන්ටියස් පිලාත්
ඒ මම
පාපතර යුදෙවු ජනතාව
මේ ඔබ

තෝරන්න ඉතින්
ලිස්ට් ඒක පිරෙනකම්

මෙන්න මේ කූඩුවේ
බරබ්බස්
ගෙවල් බිඳුම් මිනි මැරුම් ස්ත්‍රී දූෂණ

එතකොට මෙයා
වීරප්පන්
අලි මරාපු
මිනි මරාපු
පොලිසියට වෙඩි තියාපු

තව ඉන්නව
අජාසත්ත
දේවදත්ත
ඉඩි අමිනුයි
බොකාසා යි

ඔසවන්න අත්
දෙන්න ඔබේ වටිනා චන්දය

හොරු ද මිනි මරුවෝ ද
තක්කඩි ද කසිප්පු මුදලාලිල ද
තොග වශයෙන් කුඩු ගෙන්වන
බෙදාහරින
කැලෑ කපා දඩමස් දෙන
රට පටවන මිනිස්සුන්ව බෝට්ටුවේ

කාවද ඉල්ලුවේ?
ඇයි මතක නැද්ද
ඔහෙලගෙ චන්දෙන් නේ
අපි ඒකව ඇණ ගැහුවේ කුරුසියකට
ඉතුරු වුනේ මේ කට්ටිය

නැහැ නැහැ නැහැ
රොබින් හුඩ් ඉල්ලන්නේ නැහැ
එයාගේ සහතික හොඳටම මදි
මෙයාලාට විතරයිනේ නොමිනේෂන් දුන්නේ

මොකද බනින්නේ
ඇයි ලතැවෙන්නේ
පරම්පරා බරගානක්
ඔබ විසින්ම තෝරාලා
තේරිලාම ඉතුරුවෙච්ච
මේ කට්ටිය
මේ ඔබේ ම ආත්මයෙන් ජීවය ලද
ඔබේම ජන නියෝජනය

නොවැරදීම යන්න චන්ද පොලට උදෙන්ම
දෙන්න නොමසුරු චන්දය
ලිස්ට් ඒක පිරෙනකම්

තෝරාගන්න ඔබ
ඔබේම නියෝජනය

ඒ ඔබ පාපතර යුදෙවු ජනතාව
මේ මම පොන්ටියස් පිලාත්
මැතිවරණ කොමසාරිස් තැන්පත්

චන්දෙට පසු අත් සෝදා
සියලු පවින් නිදහස් වන 

7/7/13

බෝට්ටුව

වැලන්ටයින් විජේසිංහ
බෝට්ටුවේ ඇවිත් බැහැපු
මැරුණ නැති නිසා පණ ඇති
වැලන්ටයින් විජේසිංහ

ඔය කිව්වට
ලිය කියවිලි වලට දුන්නෙ
විජයාසිංහම් කියලයි

යුද ගින්නේ ගිනි කන්දෙන්
සුරුට්ටුවක්‌ පත්තු කරපු 

බෝට්ටුවේ කණ්ඩිය උඩ
බඩ ගින්නට ඒක බීපු

මූද දිගේ
එහෙන් මෙහෙන්

මුරකාවල්
මිස් කොරාන
වෙට්ටු දාල
පොට්ටු තියල
නමත් වෙනස්
ගමත් වෙනස්
ජාති දෙකයි
දෙකම එකයි

ලෙඩට දුකට බෙහෙතක් නැති
බඩට කිසිම අහරක් නැති
හිටන් ඉන්න ඉඩකඩ ඇති
මර උගුලේ

මැරිච්ච උන් මහ මුහුදට
තැලිච්ච උන් තව මුල්ලට

ගොඩබිමේදී මරා ගත්ත
ජාති දෙකම
බෝට්ටුවේ තහඩුව උඩ
කෝ තියේද වෙනම රටක්
දෙගොල්ලටම පය ගහන්න
තහඩු නවපු නිජ භුමිය

මහ අහසම කළු කරාන
වැහැපු වැස්ස යට තෙමෙන්න
ලුණු වතුරෙන් මුව දොවන්න
ජාති දෙකම එකට එන්න

ගේ දොර හෙම උකස්‌ කරල
ලස්ස ගණන් ඔට්ටු 
තියල
මන්දිරි දේවියට කියල
අමල් බිසෝ ගෙයින් තියල
වංක ගිරියෙ
කෙලින් පාරෙ
බෝට්ටුවේ
මූද දිගේ

වැලන්ටයින් විජේසිංහ
මැරුණ නැති නිසා ඇති පණ
ගොඩට ආ නිසා හිනැහෙන

ලොකු හිල් ඇති දැලෙන් ඇවිත්
ජීවත් වෙන්නට විදිහක්
හොයා දුවන
වැලන්ටයින් විජේසිංහ

අනේ මල්ලි
හැකිනම් මට හොයා දෙන්න
ක්ලීන් කරන්නත් පුළුවන්
බර උස්සන්නත් පුළුවන්

තියේද කොලිෆිකේෂමක්?

දාඩිය කරගැට නැගිච්ච දෑත තමා
මේසන් වැඩ කරපුවාට
කඩවල බඩු ඇදපුවාට
සහතික කොළ නැති වුනාට
මල් කර ගැට අත පුරාට

දාඩිය බිඳු හෙළු නමුත්
නැති හින්දා සලකන්නේ
උපන් බිමේ
නුහුරු බිමක නුහුරු බසක
නුහුරු වැඩක් හොයා දුවන

ඇති යන්තම් ඔයින් ගියා
ආපු විදිහ කොහොම වුනත්
අතීතයේ මොකක් කළත්
අලුත් රටට වැඩක් නැතේ

උඹට උරුම තැනක් තියෙන
දාඩිය බිඳු ගණන් කරන
එකින් එකට කුලිය ගෙවන

සාගතයෙන් ගොඩට එන්න
හෙට දවසක් ගොඩ නගන්න
මන්දිරි දේවියත් ඇන්න
ගෙයක් දොරක් තනා ගන්න

අමල් බිසෝ දීග දෙන්න
ජීවිතයෙන් පුද කරාපු
මල් සිහිනය එළි කරන්න

වැලන්ටයින් විජේසිංහ
ඉර පායයි අයියෙ උඹට

2/26/13

ලොකු බල්ලෝ පොර කති

පුවතක්: පුතා ලා දෙන්නා ගහ ගනිති

මහ උන් පැටව් රට හැම තැන පැතිරීම

එහෙයින් උනුන්ගේ අතපය පැටලීම
එනයින් එකිනෙකා නොදැනම පොර කෑම
දුහුනන් හට බලන්නට ටෙලි සැපයීම

අප්පගෙ නමින් ගුටි කෙළ ගත්තාට රැයේ
කප්පරකට අහිංසක කම තවම තියේ 
ඔක්කොම කතන්දර මාද්‍ය මවන පැයේ
සත්තයි මඩකි එහි ඇත්තක් නැතිය පියේ

උන්ටත් උන් ව අමතක වී ගියපු සඳේ 
දැන් දැන් රටේ දියුණුව තව පෙරට ඇදේ
ඉල්ලන්නේ බලය බෙදුමට මොකද වදේ
ගොට්ටන් අසූ කෝටියකට බලය බෙදේ

මෙපමණ කලක් ගුටි කෑ මහ ජන සොක්කා
පෙරලා ගහනු බැරි කල දෙදණින් දොක්කා
වලිගය දෙපා මැද ගහගත් බලු කුක්කා 
ලොකු බල්ලන්ගෙ පොරයේ අසිරිය දැක්කා

6/7/12

ආර්ථිකය

ආරෝහණ
හරය උඩින්
අවරෝහණ
ලවය තියල
අල්ලෙ ඇඳපු
ශ්‍රිතය දිගේ
දිවෙන් ලොවන
ස්පර්ශක

[සඳලි සංකේත්මා ගේ මේ කවියට පිළිතුරක්. මාතෘකාවට ස්තුතියි සඳලි]