5/31/11

කුවේණිය

[ධනුෂ්කා නිශාදී සොයුරියගේ කවියකට ලියූ පිළිතුරක්]

කුවේණිය
සට කපට කම් ගුප්ත විද්‍යා
කොල්ලන් දැලෙහි ලන
ගෙනගොස් පොකුණ තුල ලන

කුවේණිය
දල ඇති යකින්නිය
ටිකෙන් ටික උන් ලේ බොන
උහු ද දැපනේ වැටී වැහැරෙන

කුවේණිය
බාහු යුවලක සිරවුණු
උතුඟු පෙනුමට වශී වන
රවටන්ට ගොස් රැවටෙන

කුවේණිය
සැඳෑ සිහිලේ නැළවෙන
වෙණ තතක මිහිරෙන
මුළු හිත පුරා පෙම් කරන

කුවේණිය
ඔහු නමින් යුදයට යන
ටජ් මහල මතු තනවන
පුද බිම ලෙයින් සෝදන

කුවේණිය
බෝ කලක සිට රැවටෙන
කුණු මුල්ලකට විසිවන
වෛරයෙන් ගිනි ගෙන
සාප ලන හිත ඇවිලෙන

කුවේණිය
මහ මග නිති සරණ
දරු බරින් වන අසරණ
උන් කුස පුරන්නට
ලේ මස් සිරුර දන් දෙන

කුවේණිය

සදාකල් නොමියෙන
මැරි මැරී යලි උපදින

14 comments:

  1. හරිම ලස්සනයි...වෙනස්ම විදියෙ අදහසක්......කුවේනිය වනාහි ගැහැනියම වේ.....

    ReplyDelete
  2. ඔව් මේක අපූරුයි.. වෙනස් අදහසක්

    සහෝධරයා

    ReplyDelete
  3. අතීතයේ සිට අද දක්වා විවිධ වෙසින් අපට හමුවන කුවේණිය. අපූරු නිර්මාණයක්. ජය.

    ReplyDelete
  4. @දිල්, ඇනෝ, නලිනි;

    කුවේණිය අවිහිංසක කෙල්ලක් නොවේ. ගැහැනියගේ සුදු කළු දෙපැත්ත ම මනාව ඇඳුනු චිත්‍රයක්. ඒ චිත්‍රෙ පසුබිම් පාටින් පෙන්නේ පිරිමින්ගේ ක්‍රියාකලාපය නේද? මගේ කවිය කර්මකාරකයට හරවා එය දැක බලා ගන්න පුළුවන් :) [ලිටරලි නෙවෙයි]

    ස්තුතියි මේ පැත්තේ ආවාට. ප්‍රතිචාර දිරිගන්වන සුළුයි. ලියන්න කැමති කෙනෙකුට බොහෝ වටින දෙයක්. නැවත එන්න.

    ReplyDelete
  5. මේක ලියවුනේ ධනුෂ්කා නිශාධි කුලරත්න ගේ මුනු පොත් කවියකට උත්තර විදිහට. මං සාමාන්‍යයෙන් මුල් කවි වලට ලින්ක් දානවා. ඒත් ධනුෂ්කා ඒක බ්ලොග් ගත කල බවක් තවම දැන ගන්න ලැබුනේ නැහැ. ඒකත් ලස්සන කවියක්.

    ReplyDelete
  6. ඉතිහාසය ලියූ අය ඇත්තෙන්ම කුවේණිට කලේ ලොකු අසාධාරණයක් මමත් හිතන්නේ

    ReplyDelete
  7. මනුසත්;

    ඔය හරියට ඉතිහාසය කියලා කියන්නත් බැහැ. ආගමික හා ජාතික ගැතියාවකින් යටපත් කල කතාවක්.

    Dan Brown කතා කරපු මරියා මග්දලේනා වගේ

    හැබැයි ඕක තනිකර ඉතිහාසයක්‌ විතර නම් අවුලක් නැහැ. හැමදාම රිපීට් නොවී.

    ReplyDelete
  8. මම හැමදාමහිතනවා සුජීවගේ බ්ලොග් එක පැත්තේ එන්න . ඔන්න ලින්ක් එක දා ගත්තා . හරී ඔන්න අපි එනවා ..ලියමුකො කවි එහෙනම් .

    ReplyDelete
  9. ස්තුතියි බින්දී ආවාට. නැවත එන්න.

    ReplyDelete
  10. ඉතිහාසය හැමදාම ලිවුවේ වැඩ නොකරපු රජවරුන්ගේ වන්දි භට්ටයෝ තාන්න මාන්න සඳහා රජු පිනවන්න නිසා ලිය ඇති ඉතිහාසය සත්‍යයේ අනිත් පැත්තයි..
    මන් මේ කවි වල කැමතිම පද අවසන් පද පෙළයි.."කුවේණිය සදාකල් නොමියෙන මැරී මැරී යලි උපදින ..." සියල්ල හකුළුවා වදන් කිහිඔපයකින් කියා ඇති හැටි අපුරුයි..
    මේ ගොඩවැදුන විතරයි එන්න ඕන නිවී සැනහිල්ලේ !

    ReplyDelete
  11. ස්තුතියි සරත් ආවාට. පාර තොටේ ගෙදර දොරේ අහ්මතැනම මුණ ගැහෙන කුවේණිගේ අවතාර. කුවේණි කරන දෙයට වඩා බලන්න ඕනේ කුවේණි ට වෙන දේ.

    ReplyDelete
  12. රසවත් නිර්මාණයක්

    බොහෝ අවස්තා වලදී කුවේණි, මූසිල (ගුත්තිලගේ ගෝලයා) වගේ සමහර චරිත ඉතිහාස/ආගමික කතා රචකයින් විසින් හිතාමතාම අසාධාරනයට ලක් කරල තියෙනව නේද? බොහෝ ඓතිහාසික හා ආගමික කතා වල අපිට දකින්නට ලැබෙන්නේ සත්ගුනවත්, පරමාදර්ශී චරිත හා දුෂ්ඨ,දුර්ජන තනි කලු චරිත විතයි. Gray Scale චරිත පවතින බව පිලිගන්න මේ රචකයින් කැමැත්තක් දක්වල නැහැ නේද?

    ReplyDelete
  13. මහෝදර; ස්තුතියි මෙ පැත්තෙ ආවාට.

    චරිත කලු සුදු කර ගන්න එක එදා විතරක් නොවෙයි තවමත් එලෙසම තියෙනවා. දන් බලන්න ඔය කලාකාරයින් කඩේ යන එක ගැන කොච්චර කතා වෙනවද? දේශපාලකයින්ගේ දූෂණ හන්දා ඔවුන් කරන යහපත් දේවල් වලටත් ගරහන්නේ.

    හැබැයි කුවේනිලාගෙ කතාවල ඊට එහා ලොකු අසාධාරණයක් තියෙනවා. කුවේණියගෙ කෝණයෙන් කතාව දිහා බැලුවොත්. අද ඉන්න කුවේණිලාටත් පොදුයි මේක.

    මාතර නගරේ ගණිකාවන් ගැන ලංකාදීපෙ ලිපියක් තිබ්බා. 100% වාර්තාගත කේසස් වල හේතුව දරුවන් සිටින තරුණ මවුන් ස්වාමියා විසින් අතැර දමා යාම.

    ReplyDelete
  14. ඇත්ත. සැමියා හැරයාමෙන් පසු මුහුණ දීමට සිදුවන ආර්ථික අපහසු කම් තරමටම බරපතල ගැටළුවක් තමයි සමාජයෙන් එල්ල වන පීඩනය. සැමියා හැරගිය කාන්තාව ඉතා පහසුවෙන් ලබාගත හැකි ලිංගික භාන්ඩයක් (easy f__k) ලෙස බොහෝ අය දකිනවා. ඔබ මෙම සර්වකාලීන විඳවීම කවියෙන් කියා ඇති ආකාරය හරිම අපූරුයි!

    "...දරු බරින් වන අසරණ
    උන් කුස පුරන්නට
    ලේ මස් සිරුර දන් දෙන

    කුවේණිය
    සදාකල් නොමියෙන
    මැරි මැරී යලි උපදින"

    ReplyDelete