12/14/16

අවසර

සපත්තු නොදමන අවසර
සපත්තු ගලවන අවසර
හදිස්සියෙම අනවසරෙන්
කඩේට ගොඩ වුණ අවසර

සල්ලි ගෙවන් නැති අවසර
මිළදී ගන් නැති අවසර
මිල වෙනුවට සපත්තුවේ
චිත්‍ර බලනවද අවසර

චක්‍රය නොම දත් අවසර
චිත්‍රය පටලන් අවසර
සක්‍රය කිව්වත් ඒ බව
පිළිගන්නේ නැති අවසර

සුක්කානම නෙවි අවසර
ඕකුන් හම්බයො අවසර
රට ඉඳලම ඔය කඩේට
විතරක් එන බඩු අවසර

හිමිකරුවා රට අවසර
ඕකිත් මහ හෙර අවසර
බුද්දාගම්කාරී කියල
විශ්වාසත් නැහැ අවසර

පොලිසියත් ඔබ අවසර
උසාවියත් ඔබ අවසර
කඩේ කෙල්ල එල්ලන්නට
පෝරකයට යමු අවසර

සිද්ධාර්තෙ තෙල් අවසර
බුද්දරාජ ගුලි අවසර
පුංචි කාලේ දීල නැද්ද
ඒකෙ වැරැද්ද ද අවසර?

බුදු හාමුදුරුවො අවසර
පෙරලන්නට දැමු අවසර
කරත්ත රෝදේ  ගරාදි 
පිටට පැන්නෙ ඇයි අවසර?

අගේට පෙරළුණු අවසර
හැමෝම සැනසුණු අවසර
එදා පටන් කැරකුණු එක
නතර වෙලා නෙව අවසර

නැව් සුක්කානම අවසර
කරකවන්නෙ ඔබ අවසර
නැන්ගුරමත් දාගෙන නෙව
ගමන යන්නෙ කොහෙ අවසර?

ලෝකෙ ඉන්න උන් අවසර
මොකට අරින්නද අවසර?
ඔබ අවසර වැඩ අවසර
ඉන්නවනම් ඇති අවසර

12/15/15

ප්‍රේමයේ පෑන් තුඩ (කොට කවි)

[බස්සියක්  සමග කවි  ලියන්නට  ගොහින් හොට  පැටලුනු  විටෙක  ලියවුනෙකි]

තාක්ෂණ ගිනියමට
ප්‍රේමයේ තීන්ත වියළුණු
පෑන්තුඩ බලා සිටියි
කසාදෙට අත්සන් කරනකම්

8/16/15

මහ කම්මල පිපිරුණාය

මහ කම්මල
හන්දිය  ළඟ 


සක්වලකට බඩු  නිපදන
සක්වලෙන් ම සල්ලි  ලැබෙන
මුදලාලිත්  බඩ  තඩියෙක්
ඉතිරි  සල්ලි පොලියට  දෙන
හන්දිය  ළඟ  මහ කම්මල

බයිසිකලෙන්  ගෑටු  කාලෙ
ලොක්කන්  ළඟ  දණින්  වැටුණු
ඊට  පස්සේ  කාර්  හදල
බස්  කෝච්චි  නැව් ත්  හදල
ලොක්කන් වත්  දණ ගස්සපු
ලොක්කන්ටත්  ණයට  දීපු

නගරෙ  මැද්දෙ
රටේ  මැද්දෙ
ලෝකෙ  මැද්දෙ
මහ  කම්මල

සේවකයා  දුම්  පෙරාන
අහල  පහල  කාස  රෝග
ඒ  වුනාට  ලෝකෙ  පුරා
සුවය  රකින  මැෂින්  හදන

ගං ඇළ දොළ  ඇසිඩ්  වෙලා
මහපොළොවට  විස  වැදිලා
ඒකෙ  කිසිම  වගක්  නැතුව
ඔහේ  දුවන මහ කම්මල

වැඩ  අධිකයි ක
ඩිමුඩියයි
ඩෙඩ්  ලයින්ය,  ප්‍රෙෂර්  බෝම
සේවකයින්  පිස්සු  වැටිල
මැනේජර්  ල  මරණ  බයේ

හතර  වටෙන්  ඉල්ලුම්  එන
ඉල්ලන තරමට  සපයන
ඉන්න  උන්ගේ  රීරි  මස්  ද
නව  නිපැයුම්  හා  විකුණන

සේවක  අයිතිවාසිකම්
නිසි  ආරක්ෂක  සැලසුම්
මහ  ජනයගෙ  සුව  පිළියම්
මෙලෝ  දෙයක්  රකින්නෙ  නැති

ඒ  වුණාට  එව්ව හොයන
සුදු  කරපටි  මහත්වරුත්
ලැජ්ජ  නැතුව  මිලට  ගන්නෙ
උන්  විකුණන  බඩු  ම  තමා

සේවකයම  බිහි  කරාපු
සේවකයගෙ  නමින්  හදපු
ඒ වුණාට  අන්තිමේදී
ආයෝජක නමට  ලියපු

හන්දිය  ළඟ
මහ කම්මල

උදෙත්  දුවන  රැයෙත්  දුවන
වස විස කුණු  එකතු  කරන
උන්ටත්  පාලනයක්  නැති
උන්  කිව්වත්  නවතින්  නැති

හන්දිය  ළඟ
මහ කම්මල

මිනිස්  ඔලුත්  මැෂින්  වලත්
උෂ්ණත්වය  වැඩි  වුණාලු
වස විස පුපුරන ඔක්කොම
එක  කන්දට  ඇහිරුනාලු
වගක්  නැතුව  මහ  කම්මල
ඉබාගාතේ  දුවනවාලු
අන්තිමේදී  මහ  කම්මල
දඩින්  ගාල  පිපිරුණාලු


An aerial view on 15 August, 2015, of a large hole in the ground in the aftermath of a huge explosion that rocked the port city of Tianjin, China

නගරෙ  මැද්දෙ
රටේ  මැද්දෙ
ලෝකෙ  මැද්දෙ
මහ  කම්මල

අළු  පිහිදන් අඟුරු  මකන්
ආයෙ  දුවන මහ  කම්මල 

12/26/14

දස වසරකට පෙර...

දෙසැම්බර් සීතලට
මුහුදු මඩ එකතු කළ
අන්ධ ආගාධයට
නුහුරු සිත් අවදි කළ 


දහස් ගණනක් වෙළා
සොරාගෙන සැඟව ගිය
නපුරු එක සිහිනයකි
බොහෝ රෑ අවදි වන 

8/18/14

වාරියපොළේ කඩමණ්ඩිය දිහාවේ - කෙල්ලෙක් ඇවිත් ගැහුවලු තඩි කොල්ලෙකුට

වාරියපොළේ කඩමණ්ඩිය දිහාවේ
කෙල්ලෙක් ඇවිත් ගැහුවලු තඩි කොල්ලෙකුට
මේවා බලා අප මහතුන් නෝනා ලා
කියනා කතා අහලා මළ විකාරෙකි

ඇඳුමට නිදහසක් කෙල්ලට දෙන්නෙ නැති
කොල්ලන් සංහතිය නොදකින් - හොඳම වැඩේ
වනිතා විමුත්තිය වෙනුවෙන් කියනු ඇසේ
කෙල්ලගෙ හපන්කම ගැන ඔද වැඩුණු හිතින්

ගැහුවත් ඔහොම හැකිදෝ හැම එකාටම
ඕකිගෙ පස්සෙ මැරයෙක් ඉන්නවා ෂුවර්
මැරබල ආණ්ඩුව - නොදකින් මුන්ගෙ යුගේ
අසරණ කොල්ල වෙනුවෙන් එති විපස්සයෝ

කෙල්ලෙක් ඔහොම මග හෙළුවෙන් යනවාද
ඕකුන් දූසනය වන්නේ ඕක තමා
ගෑණිගෙ හැට්ට අත දැකලත් කුලප්පුව
හැම දෙයියනේ බවලත්තුන් මුගෙන් රකෝ

හෙළ බොදු කුල කතක් ඔහොමත් කරාවි ද
පෙර මහ විසාකා වැස්සේ තෙමී ගියේ
වෙසඟන, පර ගැතිය, පස්සත් නූතනයේ
සිංහල බවුද්දය කිව්වලු පෙරට පැන

නෑ නෑ සොයුර මදකට ඔබ ඉවසන්න
කෙසෙල් කැනට කලියෙන් වැට නොම පනිනු
මැය බොදු බල කතකි අරකා හම්බයෙකි
සිංහල බොදුනු කී විට ඌ කොහෙද නැති

ඒ බස් අසා මුල කී අර මහත්තුරු
බොදු බල කෙළි විමුත්තිය සක්වලේ ගසා
අසරණ සුළු දැයේ මුස්ලිම් කොල්ලාට
හිටිවන සහය දුන්නත් පුදුමයක් නැති

ගහ ගන්නා එකාගේ විස්තර අනුව
උඩ යට ගහන තොපෙ හොල්මන් විචාරේ
පාර තොටේ පොඩි සිද්දීත් පටල ගෙන
කියවන එකයි මහ ලොකු දේශපාලනේ

මග දිග යනෙන කෙල්ලන් හා කොලු කල්ලි
මේ වගෙ කතා බස් කෙරුවා හැමදාමත්
වචනය වැරදිලා කෙල්ලන්ගෙන් කාපු
පලවෙනි එකා හෝ අන්තිමයා මූ ද?

අල්ලක් විතර රට මෙතරම් පිරෙන්නට
කොල්ලන් කෙල්ලන්ගේ සෙල්ලම් නොවෙද වග
හැමදා වෙච්ච දේ දැකලා නැතුව වගේ
විද්වත් කතා කියනා එක විහිලුවකි

අවලම් කතා කී කොල්ලා ගුටි කෑය
කෙල්ලත් පෙන්නුවා මැරකම නැහැදිච්ච
මීට කලින් මේ වගෙ දැකලා නැද්ද
වැඩක් බලා ගෙන යනතක පලයල්ලා  

6/6/14

නැතිවුණු සපත්තු

සින්ඩරෙල්ලා
සුරඟන මායාවෙන් හැඩවන
හවහට ගෙදරදී යළි හඩු වන
ප්‍රින්ස් චාමින් ව මග දී හමුවන
සෙරෙප්පුව ගලවා අතට දී දුව යන

ප්‍රින්ස් චාමින්
නිතර අසු අරා සරණ
ඈ යනෙන මග ගැවසෙන
වෙනත් කෙල්ලන් දිහා නොබලන
ඈ නිසාම මහ පාටියක් නටවන

සෙරෙප්පුව නැතිබව කුඩම්මට අහුවන
ඒ වෙනුවට දුන් මල් ලියුම පාවා දෙන
ණයට ගත් අසු මතින් ප්‍රින්ස් චාමින් පැමිණෙන
මහ රැයේ අසු අරා අබිනික්මන

දැන් සින්ඩරෙල්ලා
දැලි අඟුරු ගාගෙන
රෑ දොළහ පසු වූ නිසා දැන්
හඩු වෙන වැහැරෙන කැත වෙන කළු වෙන
දරු පෝලිමක් එල්ලා ගෙන

ප්‍රින්ස් චාමින් කිව්වට
කලුහාමිලාගේ ප්‍රින්ස් චාමින්
නමට කුමරෙකු වන

ණයට ගත් අසු අරා යන එන
කුරුල්ලා මෙන් නිදැල්ලේ තටු සලන
ඒ ජීවිතේ අමතක ව යන
අද කොහේ හෝ කඹුරන
හැමදාම කටවනක් බීගෙන

4/20/14

සේකරලගේ කාලේ



[සේකර ගේ උපන්දිනය නිමිත්තෙන් ආදිවාසියනි, අවදි වෙව් අඩවියේ පල කර තිබු පින්තුරයකි. සටහන අපට පෙනෙන්නට ශෙයා කල අමන්දා අබේසූරියටත් ස්තූතිය]

තාමත් ඒ නුවරපාර
අධිවේගී වෙන්න කලින්
සුදුවෙන් ටික ටික කළු වූ 

ඒ දුම්රොටු අස්සෙන්
ඒ තරම්ම අලුත්ම නැති
කැළණි පාලම උඩ

ඒ විදුලිය
මේ විදුලිය
චීන විදුලිය
දෙසිය තිහෙන් බර ගානක් කොමිස් ගහලා
වෝල්ටේජ් එක
එක ගානක නැහැ

බලුප් වගේ ගැහෙන්නේ අපේ හිත

දශක කීපයක්
දුම්මැස්සේ වේලෙමින් හම්පඩ වුනු
බලාපොරොත්තුවේ සින්නක්කර ඔප්පු
එව්වයේ හදාපු ගෙයක් දොරක් තාම නැතුව
වල්බිහිව ගිය

බලාපොරොත්තුවේ විදුලිය
වද්ද ගත්තනේ කට්ටිය
වැදුණු කරන්ට් එකේ සැරට
කුලල් කාල යුද්ධ කරල
නඩරාජා එක්ක සුමනපාල මිය ගිහින්
මොහොමඩ් ගේ ටිකට් එක ඊළඟට
ෂුවර් නැති නිසා
ඌ යුද පුහුණුව ගන්න ගිහින්අරාබියට
සෙබස්ටියන් ඉතාලියේ
වෘත්තීය හිරකාරයෙක්
කන්ටෙනරේ ගිහින්
නත්තලට පාස්කුවට වත්
ගෙදර එන්න බැරි කරගෙන


සේකර
මැරිලා
දැන් ගොඩක් කල්

3/8/14

සමන්තයා

මල් වට්ටියෙන් පිරිකරයෙන් ගොඩ දැම්ම
පන්සල් පෙට්ටිකඩ පරයා පැන පිම්ම
ඉල්ලන දෙයක් ඇති ෆුඩ් සිටියක් දැම්ම
මල් මල් වෙළෙන්දෙකි සමන්ත සිරිධම්ම

කොපමණ ඇතත් කරනා අකුසලෙහි බල
සිල්ලර කාසියෙන් එය අවලංගු කළ
නිර්ධනයින්ට නිර්වාණය අහිමි කළ
දැක්කද දහම් පදයට ඔහු කියපු මිළ

ස්පෝකන් රහත් පන්තිය මාස තුනේ
ඔහුගේ දෙතිස් ලක්ෂණයෙන් එලිය උනේ
සමන්තයාණන් බුදු බව ලබපු දිනේ
චෞර රැජිනියෝ කිරිපිඬු ගෙනෙනු පෙනේ

රට ගැන හිතන විට කිසිවිට නැති යාළු
රජයේ විපස්සේ කුණු එක් කෙරුවාලු
වේලෙන්නට නියම පත්තර කඩමාළු
ඔහුගේ සුලුදියෙන් තෙත් වී පණ ඒ ලු

ආතල් එකේ කරනා මැටි වැඩ ගොන්න
ආතල් කැඩුණු විටවත් පහදා ගන්න
සමන්තය කියා කවුරුත් නැහැ ඔන්න
සමන්තගෙන් ඔබ ගැන ඔබ කියවන්න


ඇදහිලි විශ්වාස ආගම් නමින් කියා 
ධන බිලි පුදන කපුවන් හට දෙනෙත් පියා
කවුරුත් කරන ගොන් වැඩ පොඩි මෝඩ ක්‍රියා
ලොකු කර බලන කණ්නාඩිය සමන්තයා

12/16/13

බුකි කවි

නොකවී කවි වන
කුකවි කිවි වන
බුකිය හැමතැන
දමනු බැරිකම

ලයික් මල්දම්
'පට්ට' සැරසුම්
මිතුරු පැසසුම්
රැගෙන පළඳින්

එකෙකු ඉඳහිට
දකියි එහි කැත
කියනු ඔහුහට
මගෙයි මෙම බිත

රිසි ය කරනට
රිසි දෙයක් මට
පාන් දෝ තොට
මගේ කවිකට

අකුරු ලියවෙති
අදහසක් නැති
කවිය වනසති
කිවිහු වැජඹෙති

11/22/13

ලීස්තර

[ෆේස්බුක් සොඳුරු කවිකාරිය රසිකා ගුණවර්ධනගේ පදපෙලක ඉතිරිය මෙහෙම සටහන් කලෙමි. කවියේ පළමු පද පෙළ රසිකාගේ. මෙහි පල කරන්නේ අවසරය සහිතව]

මධ්‍යාහ්න හිරු තාප ඉවසමින්
ඉස්තෝප්පු වල රංචු ගැසී
උකුණන් බලන ගැහැණු


ඉරිතැලුණු දාර දිගේ
බින්කුණ්ඩන් කළු කූඹින්ට ඔච්චම් කරන
කොළ පාට රතුපාට
සිමෙන්ති පොලොවවල්

බීරළු ලීස්තර
කොන් ගැලවුණු ලැටිස් පටි
පත කොස් උළුවහු
සාලෙකට දෙක තුනක්

දඩස් බඩස් ලී සොල්දර

කාලය නිසොල්මන්ව ඔහේ ගෙවෙන
මිනිස්සු රේඩියෝ අහන
ටී වී නොදන්න

ඉඳහිට පාරක රෝද හතරක්
එන්ජිමකින් එළවෙන
තිරික්කලේ නිරන්තරේ කිරිස් කිරිස් ගාන

අතීත සැමරුම් සිහින
අපිත් එක්කම වයසට යන

8/19/13

චන්දය

පොන්ටියස් පිලාත්
ඒ මම
පාපතර යුදෙවු ජනතාව
මේ ඔබ

තෝරන්න ඉතින්
ලිස්ට් ඒක පිරෙනකම්

මෙන්න මේ කූඩුවේ
බරබ්බස්
ගෙවල් බිඳුම් මිනි මැරුම් ස්ත්‍රී දූෂණ

එතකොට මෙයා
වීරප්පන්
අලි මරාපු
මිනි මරාපු
පොලිසියට වෙඩි තියාපු

තව ඉන්නව
අජාසත්ත
දේවදත්ත
ඉඩි අමිනුයි
බොකාසා යි

ඔසවන්න අත්
දෙන්න ඔබේ වටිනා චන්දය

හොරු ද මිනි මරුවෝ ද
තක්කඩි ද කසිප්පු මුදලාලිල ද
තොග වශයෙන් කුඩු ගෙන්වන
බෙදාහරින
කැලෑ කපා දඩමස් දෙන
රට පටවන මිනිස්සුන්ව බෝට්ටුවේ

කාවද ඉල්ලුවේ?
ඇයි මතක නැද්ද
ඔහෙලගෙ චන්දෙන් නේ
අපි ඒකව ඇණ ගැහුවේ කුරුසියකට
ඉතුරු වුනේ මේ කට්ටිය

නැහැ නැහැ නැහැ
රොබින් හුඩ් ඉල්ලන්නේ නැහැ
එයාගේ සහතික හොඳටම මදි
මෙයාලාට විතරයිනේ නොමිනේෂන් දුන්නේ

මොකද බනින්නේ
ඇයි ලතැවෙන්නේ
පරම්පරා බරගානක්
ඔබ විසින්ම තෝරාලා
තේරිලාම ඉතුරුවෙච්ච
මේ කට්ටිය
මේ ඔබේ ම ආත්මයෙන් ජීවය ලද
ඔබේම ජන නියෝජනය

නොවැරදීම යන්න චන්ද පොලට උදෙන්ම
දෙන්න නොමසුරු චන්දය
ලිස්ට් ඒක පිරෙනකම්

තෝරාගන්න ඔබ
ඔබේම නියෝජනය

ඒ ඔබ පාපතර යුදෙවු ජනතාව
මේ මම පොන්ටියස් පිලාත්
මැතිවරණ කොමසාරිස් තැන්පත්

චන්දෙට පසු අත් සෝදා
සියලු පවින් නිදහස් වන 

7/7/13

බෝට්ටුව

වැලන්ටයින් විජේසිංහ
බෝට්ටුවේ ඇවිත් බැහැපු
මැරුණ නැති නිසා පණ ඇති
වැලන්ටයින් විජේසිංහ

ඔය කිව්වට
ලිය කියවිලි වලට දුන්නෙ
විජයාසිංහම් කියලයි

යුද ගින්නේ ගිනි කන්දෙන්
සුරුට්ටුවක්‌ පත්තු කරපු 

බෝට්ටුවේ කණ්ඩිය උඩ
බඩ ගින්නට ඒක බීපු

මූද දිගේ
එහෙන් මෙහෙන්

මුරකාවල්
මිස් කොරාන
වෙට්ටු දාල
පොට්ටු තියල
නමත් වෙනස්
ගමත් වෙනස්
ජාති දෙකයි
දෙකම එකයි

ලෙඩට දුකට බෙහෙතක් නැති
බඩට කිසිම අහරක් නැති
හිටන් ඉන්න ඉඩකඩ ඇති
මර උගුලේ

මැරිච්ච උන් මහ මුහුදට
තැලිච්ච උන් තව මුල්ලට

ගොඩබිමේදී මරා ගත්ත
ජාති දෙකම
බෝට්ටුවේ තහඩුව උඩ
කෝ තියේද වෙනම රටක්
දෙගොල්ලටම පය ගහන්න
තහඩු නවපු නිජ භුමිය

මහ අහසම කළු කරාන
වැහැපු වැස්ස යට තෙමෙන්න
ලුණු වතුරෙන් මුව දොවන්න
ජාති දෙකම එකට එන්න

ගේ දොර හෙම උකස්‌ කරල
ලස්ස ගණන් ඔට්ටු 
තියල
මන්දිරි දේවියට කියල
අමල් බිසෝ ගෙයින් තියල
වංක ගිරියෙ
කෙලින් පාරෙ
බෝට්ටුවේ
මූද දිගේ

වැලන්ටයින් විජේසිංහ
මැරුණ නැති නිසා ඇති පණ
ගොඩට ආ නිසා හිනැහෙන

ලොකු හිල් ඇති දැලෙන් ඇවිත්
ජීවත් වෙන්නට විදිහක්
හොයා දුවන
වැලන්ටයින් විජේසිංහ

අනේ මල්ලි
හැකිනම් මට හොයා දෙන්න
ක්ලීන් කරන්නත් පුළුවන්
බර උස්සන්නත් පුළුවන්

තියේද කොලිෆිකේෂමක්?

දාඩිය කරගැට නැගිච්ච දෑත තමා
මේසන් වැඩ කරපුවාට
කඩවල බඩු ඇදපුවාට
සහතික කොළ නැති වුනාට
මල් කර ගැට අත පුරාට

දාඩිය බිඳු හෙළු නමුත්
නැති හින්දා සලකන්නේ
උපන් බිමේ
නුහුරු බිමක නුහුරු බසක
නුහුරු වැඩක් හොයා දුවන

ඇති යන්තම් ඔයින් ගියා
ආපු විදිහ කොහොම වුනත්
අතීතයේ මොකක් කළත්
අලුත් රටට වැඩක් නැතේ

උඹට උරුම තැනක් තියෙන
දාඩිය බිඳු ගණන් කරන
එකින් එකට කුලිය ගෙවන

සාගතයෙන් ගොඩට එන්න
හෙට දවසක් ගොඩ නගන්න
මන්දිරි දේවියත් ඇන්න
ගෙයක් දොරක් තනා ගන්න

අමල් බිසෝ දීග දෙන්න
ජීවිතයෙන් පුද කරාපු
මල් සිහිනය එළි කරන්න

වැලන්ටයින් විජේසිංහ
ඉර පායයි අයියෙ උඹට

2/26/13

ලොකු බල්ලෝ පොර කති

පුවතක්: පුතා ලා දෙන්නා ගහ ගනිති

මහ උන් පැටව් රට හැම තැන පැතිරීම

එහෙයින් උනුන්ගේ අතපය පැටලීම
එනයින් එකිනෙකා නොදැනම පොර කෑම
දුහුනන් හට බලන්නට ටෙලි සැපයීම

අප්පගෙ නමින් ගුටි කෙළ ගත්තාට රැයේ
කප්පරකට අහිංසක කම තවම තියේ 
ඔක්කොම කතන්දර මාද්‍ය මවන පැයේ
සත්තයි මඩකි එහි ඇත්තක් නැතිය පියේ

උන්ටත් උන් ව අමතක වී ගියපු සඳේ 
දැන් දැන් රටේ දියුණුව තව පෙරට ඇදේ
ඉල්ලන්නේ බලය බෙදුමට මොකද වදේ
ගොට්ටන් අසූ කෝටියකට බලය බෙදේ

මෙපමණ කලක් ගුටි කෑ මහ ජන සොක්කා
පෙරලා ගහනු බැරි කල දෙදණින් දොක්කා
වලිගය දෙපා මැද ගහගත් බලු කුක්කා 
ලොකු බල්ලන්ගෙ පොරයේ අසිරිය දැක්කා

6/7/12

ආර්ථිකය

ආරෝහණ
හරය උඩින්
අවරෝහණ
ලවය තියල
අල්ලෙ ඇඳපු
ශ්‍රිතය දිගේ
දිවෙන් ලොවන
ස්පර්ශක

[සඳලි සංකේත්මා ගේ මේ කවියට පිළිතුරක්. මාතෘකාවට ස්තුතියි සඳලි]

5/16/12

ඔබා

කවදත් කාගෙ කාගෙත් බ්ලොග් පිටු අතර
අදහස් මිටක් සිනහවකින් අකුරු කර
හිතවත් කමින් දිරි ගන්වන හැම නිතර
වියපත් නිරික්සුම් කරුවා ඔබ මිතුර

දැනුමට දේශපාලනයට ආගමට

ලොකු පොඩි බෙදුම්, හැදියාවට ජඩ කමට
නිතරම ඇවිලෙතත් බ්ලොග් කරුවන් එමට
සිනහව පමණි ඔබ බෙදුවේ අප හැමට

ආවත් වරක් කියවා සටහනක් ලියා

ආයිත් ගිහින් තව ලියලද බලන ඔයා
කාගෙත් හිතට මහ ලොකු හිස්තැනක් තියා
කාටත් හොරෙන් නෑවිත් ඉන්නටම ගියා

ඉමිහිරි මතක සටහන් අකුරින් කරවා

ඇසිදිසි ලෙසින් සිතු-රූ පෙළකට හරවා 
රිසි රිසි උන්ට විඳ ගන්නට හිත පුරවා
ඔබ ලියු බ්ලොගෙහි පිටු අතරෙහි හිර කෙරුවා

නැති මුත් කතා බස් කර හමු වී හැබැහින්
එපුවත් අසා හිත වැළපෙයි දැඩි ස්වරයෙන්
එනමුත් නැවත කියවා ඔබ ලියු සටහන්
හැඬුවත් කෙනෙකු යළි හිනැහෙනු ඇත රහසින්

4/2/12

තවත් එක ජෝඩුවක්‌


සිප ගන්න නැවෙන විට
තව ටිකක් ඈත් වෙන
ආයිමත් උනුහුමට
තුරුල්ලට වක ගැහෙන

කිසිදාක එක් නොවුණු
තවත් එක ජෝඩුවක්‌

මුහුදු හුළඟට තැවෙන

උන්ගෙ මග අවුරාන
රතු ලයිට් ඔරවගෙන

[කස්සප ජයසිංහ ගේ ඉස්තරම් පින්තුරයකට ලියවුනු කොමෙන්ටුවකි. ස්තුතිය ඔහුට]

3/26/12

නොහඳුනන්නි

හැඩට වැඩට හැඳ පළඳින හිඟන්නී
ලාබ විලවුනට දහදිය පොඟන්නී
මග දිග රැඳෙන කිසි ගමනක් නොයන්නී
ආලය බෙදන මුත් ආපසු නොගන්නී



[සුසන්ත මූණමල්පේ සොයුරාගේ කවියකට පිළිතුරක්. ඉහලින්ම ඇගයීමක් කල ශානි කල්යානරත්න සොයුරියටත් ස්තුතියි]

3/3/12

විරහවේ පාට

විරහවේ පාට
අවර්ණයි

ඇල්කොහොල් මිශ්‍රකිරීමෙන්

වර්ණ ගැන්විය හැක

[මුහුණු පොත් සංවාදයක ලියවුනු වචන අහුරක්. මේවා කවි ද නැද්ද යන කතිකාව වෙනුවෙන් පළ කරන ලදී]

2/22/12

වික්ටෝරියා


වික්ටෝරියා
සංස්කෘතිය
සභ්‍යත්වය
උද්‍යානය
තණකොළ

නිකම් නොවේ
රට තණකොළ

වික්ටෝරියා
කොලු කෙල්ලන්
ආදරයට බිය වද්දන
ඒ වුණාට
පෙම් කරන්න උයන සදන

තණකොළ ටික පෙන්න පෙන්න
කන එවුන් ව හණ ගස්සන

වික්ටෝරියා
එක පාර ම
විහාරමහදේවිය වී
ගැමුණු කුමරුවන් රවටන
උන් ලව්වා
අනාචාරයේ තණකොළ
සුද්ද කරන

තණකොළ ටික උනා දමා
පිරිසිඳුවට නිරුවත් වන

වික්ටෝරියා
ජීවිතයේ ඉඟි නළුවේ
සංස්කෘතික රඟහල ළඟ 
තව රඟන්න

හෙට දවසේ
සරා සළෙල රතු එලි වීදිය අභියස
ප්‍රතිමාවක් වී  හිඳින්න
ලැජ්ජාවෙන් පිලිකන්නක

රාත්‍රියේ දොරගුළු හැර
නියෝන් ලයිට්  දැල්වෙන කොට
සියවස්  ගානක්  හංගපු
සභ්‍යත්වේ පුද කරන්න 
පිරිසිඳුකම තියන් ඉන්න
පරිස්සමින්  


වික්ටෝරියා

1/28/12

සේරි වාණිජ


සේරි වාණිජ
කතාවේ එන
සාධාරණ වෙළෙන්දා [නිවැරදි කිරීම: ස්තුතිය කතන්දර]
රන් තලිය මිළට ගත්
අත ඇති සියලු ධනය දී

සාධාරණ කම
ඉතිහාසය ලියන ලද

ඔය කිව්වට
ලෝක හොරෙක් ලු මිනිහා

කෙල්ලට බංගලි වළලුත්
ආච්චිට සල්ලි මල්ලත්
දී රවටා
ඇන්න ගිහින්
රටක් වටින රන් තලියක්

පරම්පරා ගණනාවක් එකතු කරපු
මුළු රටේම බූදලයක්
රටක් වටින රන් තලියක්

ඇන්න ගෙහුං වෙන රටකට

කෙල්ල හිතේ සන්තෝසෙන්
වළලු සොලවමින්
ආච්චිටත් හරි ඉහලයි
පැල්පත වෙනුවට හදාපු පුංචි ගෙදර
රස මසවුළු
කාපට් කල පාර එක්ක
පාලම් අරව ද මෙව්ව ද

කරනට මෙහෙමවත් දෙයක්
කවුරුත් උන්න ද මෙතුවක්
රන් තලියත් අරන් යන්න හොර රහසෙම
හිතන් උන්නු
මංකොල්ලකාරයින් මිසක්

හැබැයි ඉතින්
රටක් වටින රන් තලියේ අගය
කොච්චරක් ද දන්නෙ නැහැ
අතට ගත්තු
වෙළෙන්දා ම  මිසක්

අතට දුන්නු සල්ලි මල්ලෙ
රන් කහවනු එක්ක තිබුණු
ඉරි කොටු අකුරින් ලියවුනු කොළ මිටියක්

ඔප්පුවක්ලු ණය වෙච්චට