10/16/11

ටයි මාමා

නොයෙකුත්  භූමිකම්පා සුළි සුළං ගැන
ගිනිගත්  සටන් හා මහ අවපාත එන 
දහසක් පුවත් අතරේ තිස්සෙම ඇසෙන
රහසක් කියා ඔහු නික්මී ගොස් තිබිණ

රේඛාවකින්  ඇරඹුණු දිගු ගමන් පෙත 
පළලින් උසින් පැතිරී ඇත සතර අත
මහ බරපතල් මුහුණක ගන රැවුල් කෙත
මුදු ලෙස පිපුණු සිනහව තව මතක ඇත

කැලේ  මැදින් දුවගෙන ආ හරි හාවා
වීනාවක්‌ වයා දුක් ගීයක් ගැයුවා
පිස්සු වුනත් පූසන් බක්කිය ගාවා
අපේ ඇසින් කඳුලක් හොරකම් කෙරුවා

දොස්තර හොඳ හිතේ ඉන්නේ කොහෙද ඔහේ
සතුනුත් හඬා වැලපෙන හඬ ඔහුට ඇහේ
මැරියන් රොබින් හඳයා පිට නැගී ඔහේ
ඔෂිනු ත් එක්ක මල ගෙදරට එනව මෙහේ

පෝලිම දිගට තව අය බොහොමත් ඇතිය
හිත්වල ඇදෙන රිය පෙරහැර බොහො දිගය
ඔබ දැඩි කල දුවා දරුවන් අපමණය
වියපත් වුනත් ඒ සිත් තව ඔබ ළඟය

සිංහල චිත්‍රපටියේ සිඳ පෙකනිවැල
සිනමාවක් ළමුන් හට දායාද කල
අද හරකුන් මඬින රූ වාහිනී වල
තවමත් දිලෙන තරු පෙළ ඔබ එලිය කල

පොඩි හිත් ඔබ තැනු මතු ලොව දිනන්නට

ලොකු හිත් වී දිනා ඇත ලොව හතර වට
සිනහව සමග බුද්ධිය ඇතිනම් අපට
සැකසුම අදියුරුව හිමි විය යුතු ඔබට

8/26/11

කතන්දර

[මේ කවිය තවම නිර්මාණ පල කිරීමට තරම් තාක්ෂණික පරිචයක් නැති කෙනෙකුගෙන් කොපි කල එකකි]

ටිකිලි ටිකිලි ටිකිලි ලියා

කලෙත් අලං ලිඳට ගියා

---

ටිකිලි ලියා අක්කියි
කබල ගොයයි දියබලියයි
දැන් හලි යාලුයි
ඒගොල්ලෝ ඔක්කොම යනවලු
පාටි එකට
ස්ලීපින් බියුටී අක්කිගෙ උපන් දිනේ...

කිලි සුදු හාවයි ඉබ්බයි
හති අලිනව
ඔන්චිල්ලාවට හේත්තු වී
ඒ දෙන්නා බලන් ඉන්නෙ
කුන්ෆු පැන්ඩ චිත්‍රපටිය
මෙන්න 

කුන්ෆු පැන්ඩ
මොනල එක්ක ගහ ගන්නව...

ස්නෝ වයිට් අක්කි එක්ක

බෙලා අක්කි හලි යාලුයි
ඒ ගොල්ලෝ
ඉස්කෝලේ යන්නෙ එකට
කාල් එකේ...

ක්‍රීම් පාට මලත් එක්ක 

මාලි බික්කි තලා වෙලා
එයා අඬනවා හොඳටම
ඈ කියල...

හඳමාම ඈත අහසෙ

මූණ උඩින් අත තියාන
හොඳට බලන්නකෝ
මෙන්න මේ වගේ
මේ තියෙන්නේ අතේ ඇඟිලි...

 ---


ඉතිහාසය පුරාවටම

ගොතපු කතා අහල අහල
මදි වෙලාද
පුංචි කෙල්ල තව හදන්නෙ?

ටිකිරි කතා වලින්

ජීවිතයේ මහ ගින්දර නිවිල ගිහින්
හිත පුරාම 

පාට පාට පෙති පහ පහ මල් පිපෙනව

පුංචි එවුන් වගේ අපිත්

ඉකි ගහ ගහ හිනා වෙනව
කඳුළු එක්ක

7/25/11

සුනිල් අයිය... දන්නෙ නැද්ද?


"හලෝ හලෝ කොහොමද'තින්...
උඹට මතක නැද්ද මාව?
කාලෙකින්නෙ කෝල් කළේ

හපොයි උඹල
හොහ් හොහ් හොහ්
දන්නෙ නැද්ද
සුනිල් අයිය
මම මතුගම"

"ඔව්වොව්වොව් මහ වත්තේ

බිස්නස් කළ
තැඹිලි තමයි
තැඹිලි තමයි"

"කොහොමද ඔය පැත්ත ඉතින්"

"නැහැනෙ මල්ලි විවේකයක්
අමත්තියන්සේ කටයුතු"

"ඔව්වොව්වොව් අපේ එතුම

ගත්තනෙ මං එයා ළඟට"
"ගණ සැරේට වැඩ නෙ මල්ලි
එතන වැඩයි චන්ද වැඩයි"


"ගිය චන්දෙද?
සතියක් මං එහේ උන්නෙ
මං ගැන නො
වැ විස්සාසේ
අදයි ඔන්න වැඩට යන්නෙ"

"නිවාඩුවත් නැතුව හිටියෙ
ඕටී හා බටා එක්ක
ඔව්වොව්වොව්
නැතුව නැතුව
හොහ් හොහ් හොහ් "

ඉදිරි අසුනෙ සැපට ඉඳං

දොඩමලු වන
සුනිල් අයිය
ඔහු මතුගම
දන්නෙ නැද්ද?

කට පුරෝල හිනා ගඟයි

පුරාජේරු ඉහට උඩින්
තඩි දම්වැල
රනින් තැනූ
දකුණු අතේ
දුර කතනම දෙකයි ඔන්න

සීට් එකේ කොනේ ඉන්න

නාඳුනනා නෑම්බියට
ඒ සී දුම් කවුළු දෙකම
වෙස්සන්තර වගේ පුදන

කොන්දොස්තර එක්ක නිතර

දොඩමලු වෙන
උගෙ බස් එක වගේ හිඳින
බස් එක හැප්පෙන්න ගියපු
ලොරියට සත්තමක් දමන

සුනිල් අයිය

ඔහු මතුගම
දන්නෙ නැද්ද?

කොකා වගේ සුද පිරෙන්න

අත් දිග කමිසයක් ඇඳල
කණ කොකා ගෙ කළු පේන්නෙ
අත දිග ඇරියම ද කොහෙද
තින්ත පාර
පාප්ප තලි
රෝම පිරුණු බාහු දෙකේ
ගිය සතියේ හැම රැයේම
කාපු කට්ට

"ඔව් ඔව් බන්

සම්බන්ධීකරණ කියන

මහත්තයගෙ ගාව තමයි 
හැබැයි මමයි වැඩ බලන්නෙ
එතන කෙරෙන ඕන වැඩක්
මං බැලුවොත් තමයි ඉතින්"

"වරෙන් වරෙන්

මං දෙන්නම් තිතට වැඩේ"

වැඩිම උනොත් කාරියාලෙ ලියුං බෙදන

ඒ වුනාට
ලේකම් ටත් උපදෙස් දෙන
සුනිල් අයිය
ඔහු මතුගම
දන්නෙ නැද්ද?

එතුමට පින නොපෑදෙන්ට

නම්බු  පිටින්
මහ වත්තේ තැඹිලි බාන
කරේ තියං මග විකුණන
සුනිල් අයිය
ඔහු මතුගම
දන්නෙ නැද්ද?

තව අවුරු
දු පහයි ඔන්‍න‍
කට්ට උඩින් දාපු මසට 
මල්මාලය ෆිට් උනාම
ජය වේවා
අපි දිනවමු
අපට හිතැති
රටට පෙමැති
සුනිල් මැතිඳු
ඔහු මතුගම

එදාටවත් දන්නෙ නැතෑ


7/7/11

ගමන

පිනි වැටුණු තුරු මුදුන් අතරින්
පියඹලා එන පොඩි කුරුල්ලෙක්
නොදන්නා බසකින්
යමක් තෙපලයි
මග දෙසට පෙර ගමන් කරමින්
යන්ට අමතයි

ඈත හිමයේ සීත මාරුත
කළඹවා ගෙන කේඬෑරි ගස්
ඉතිරි වී ඇති කෙසඟ කොළ ටික
උදුර ගෙන යයි කප්පමට
සීත කාලයට
බඩ ගින්දර විතරක් ඉතුරු කර

කැණීමඩල බිඳ වැටුණු
දැලි අඟුරු දුම් දමන 
ගිනි ගත්ත නිවහනේ
ඉතිරි වූ පොඩි මුල්ල
තවම මට සෙවන දේ

මකුළු දැල් සිහි වටන
දුහුවිල්ලෙ ඇඳි රටා
අතීතෙන් මතුව එන සෙවනැලි
තෙත පොලොව නගන ගඳ
තවම හුරු සුවඳක්ය

කාලයක් බලා හුන්
දුර තරුව අවදි වී 
පාර හෙළි කර තිබේ
දුරු ගමන අරඹන්න දැන් කාලයයි

මතක අහුරක් සමග
ඔහේ තනිකම විඳිමි
ඔද්දල් ව ගල් ගැහුණු විපිළිසර හිත
වියපත් ව වාරු සිඳී දෙපා
සමගින්

දුර  තරුව පායන්න
ගතවෙච්ච කල් වැඩියි
දුරු ගමන යා හැකි ද
මහල්ලෙකු හට?

6/20/11

නුඹ... [ඉරමල වැටිලා]

ඉරගල කන්දෙන් ඉරමල වැටිලා
ගොම්මන් කළුවර මිදුලට ඇවිදින්
රුක් අත්තන මල් සුවඳ ගෙනාවට
නුඹේ  සුවඳ මට ඊට වැඩියි

රෑන ගිරා හඬ යටපත් කරගෙන

කළුවර එන්නේ රැහැයි හඬින්
හීන හතෙන් නුඹ පිටමං වූ දා
ඒ කළුවර යයි ගෙටත් උඩින්

මුකලාන මැද හේන දිහාවෙන් 

රෑ සීපාවන් හඬනු ඇසේ
හේන කුඹුර පැල උන්ට ගියාදෙන් 
නුඹ තනිකර මම යමි ද කෙසේ?

[ගීතයේ නිධාන කතාව මෙතනින් බලන්න]

5/31/11

කුවේණිය

[ධනුෂ්කා නිශාදී සොයුරියගේ කවියකට ලියූ පිළිතුරක්]

කුවේණිය
සට කපට කම් ගුප්ත විද්‍යා
කොල්ලන් දැලෙහි ලන
ගෙනගොස් පොකුණ තුල ලන

කුවේණිය
දල ඇති යකින්නිය
ටිකෙන් ටික උන් ලේ බොන
උහු ද දැපනේ වැටී වැහැරෙන

කුවේණිය
බාහු යුවලක සිරවුණු
උතුඟු පෙනුමට වශී වන
රවටන්ට ගොස් රැවටෙන

කුවේණිය
සැඳෑ සිහිලේ නැළවෙන
වෙණ තතක මිහිරෙන
මුළු හිත පුරා පෙම් කරන

කුවේණිය
ඔහු නමින් යුදයට යන
ටජ් මහල මතු තනවන
පුද බිම ලෙයින් සෝදන

කුවේණිය
බෝ කලක සිට රැවටෙන
කුණු මුල්ලකට විසිවන
වෛරයෙන් ගිනි ගෙන
සාප ලන හිත ඇවිලෙන

කුවේණිය
මහ මග නිති සරණ
දරු බරින් වන අසරණ
උන් කුස පුරන්නට
ලේ මස් සිරුර දන් දෙන

කුවේණිය

සදාකල් නොමියෙන
මැරි මැරී යලි උපදින

5/14/11

ආර්ථිකේ ["අපි" කියන්නෙ]

නිදහස් යයි කියා ගත්ත
ආර්ථිකේ ගිනි එන්ජිම
තවම අඳුරු කාමරයේ

කවුළුව විතරයි විවෘත

එතනින් නිතරම හමන්නෙ
වටේ පිටේ කාණු දුගඳ
[හුළං හමන මග කියන්නෙ
හුළං මිසක් අපි නොවෙයිනෙ]

කාලයාගෙ දූෂණයට‍
දුම් කවුළුව වැහිල ගිහින්

කිරිං කිරිං ගගා දුවන
ගිනි එන්ජිම නගන දුමින්
කහින ගමන් "අපි" කියන්නෙ
වහමු කියල ජනේලයත්