6/7/12

ආර්ථිකය

ආරෝහණ
හරය උඩින්
අවරෝහණ
ලවය තියල
අල්ලෙ ඇඳපු
ශ්‍රිතය දිගේ
දිවෙන් ලොවන
ස්පර්ශක

[සඳලි සංකේත්මා ගේ මේ කවියට පිළිතුරක්. මාතෘකාවට ස්තුතියි සඳලි]

5/16/12

ඔබා

කවදත් කාගෙ කාගෙත් බ්ලොග් පිටු අතර
අදහස් මිටක් සිනහවකින් අකුරු කර
හිතවත් කමින් දිරි ගන්වන හැම නිතර
වියපත් නිරික්සුම් කරුවා ඔබ මිතුර

දැනුමට දේශපාලනයට ආගමට

ලොකු පොඩි බෙදුම්, හැදියාවට ජඩ කමට
නිතරම ඇවිලෙතත් බ්ලොග් කරුවන් එමට
සිනහව පමණි ඔබ බෙදුවේ අප හැමට

ආවත් වරක් කියවා සටහනක් ලියා

ආයිත් ගිහින් තව ලියලද බලන ඔයා
කාගෙත් හිතට මහ ලොකු හිස්තැනක් තියා
කාටත් හොරෙන් නෑවිත් ඉන්නටම ගියා

ඉමිහිරි මතක සටහන් අකුරින් කරවා

ඇසිදිසි ලෙසින් සිතු-රූ පෙළකට හරවා 
රිසි රිසි උන්ට විඳ ගන්නට හිත පුරවා
ඔබ ලියු බ්ලොගෙහි පිටු අතරෙහි හිර කෙරුවා

නැති මුත් කතා බස් කර හමු වී හැබැහින්
එපුවත් අසා හිත වැළපෙයි දැඩි ස්වරයෙන්
එනමුත් නැවත කියවා ඔබ ලියු සටහන්
හැඬුවත් කෙනෙකු යළි හිනැහෙනු ඇත රහසින්

4/2/12

තවත් එක ජෝඩුවක්‌


සිප ගන්න නැවෙන විට
තව ටිකක් ඈත් වෙන
ආයිමත් උනුහුමට
තුරුල්ලට වක ගැහෙන

කිසිදාක එක් නොවුණු
තවත් එක ජෝඩුවක්‌

මුහුදු හුළඟට තැවෙන

උන්ගෙ මග අවුරාන
රතු ලයිට් ඔරවගෙන

[කස්සප ජයසිංහ ගේ ඉස්තරම් පින්තුරයකට ලියවුනු කොමෙන්ටුවකි. ස්තුතිය ඔහුට]

3/26/12

නොහඳුනන්නි

හැඩට වැඩට හැඳ පළඳින හිඟන්නී
ලාබ විලවුනට දහදිය පොඟන්නී
මග දිග රැඳෙන කිසි ගමනක් නොයන්නී
ආලය බෙදන මුත් ආපසු නොගන්නී



[සුසන්ත මූණමල්පේ සොයුරාගේ කවියකට පිළිතුරක්. ඉහලින්ම ඇගයීමක් කල ශානි කල්යානරත්න සොයුරියටත් ස්තුතියි]

3/3/12

විරහවේ පාට

විරහවේ පාට
අවර්ණයි

ඇල්කොහොල් මිශ්‍රකිරීමෙන්

වර්ණ ගැන්විය හැක

[මුහුණු පොත් සංවාදයක ලියවුනු වචන අහුරක්. මේවා කවි ද නැද්ද යන කතිකාව වෙනුවෙන් පළ කරන ලදී]

2/22/12

වික්ටෝරියා


වික්ටෝරියා
සංස්කෘතිය
සභ්‍යත්වය
උද්‍යානය
තණකොළ

නිකම් නොවේ
රට තණකොළ

වික්ටෝරියා
කොලු කෙල්ලන්
ආදරයට බිය වද්දන
ඒ වුණාට
පෙම් කරන්න උයන සදන

තණකොළ ටික පෙන්න පෙන්න
කන එවුන් ව හණ ගස්සන

වික්ටෝරියා
එක පාර ම
විහාරමහදේවිය වී
ගැමුණු කුමරුවන් රවටන
උන් ලව්වා
අනාචාරයේ තණකොළ
සුද්ද කරන

තණකොළ ටික උනා දමා
පිරිසිඳුවට නිරුවත් වන

වික්ටෝරියා
ජීවිතයේ ඉඟි නළුවේ
සංස්කෘතික රඟහල ළඟ 
තව රඟන්න

හෙට දවසේ
සරා සළෙල රතු එලි වීදිය අභියස
ප්‍රතිමාවක් වී  හිඳින්න
ලැජ්ජාවෙන් පිලිකන්නක

රාත්‍රියේ දොරගුළු හැර
නියෝන් ලයිට්  දැල්වෙන කොට
සියවස්  ගානක්  හංගපු
සභ්‍යත්වේ පුද කරන්න 
පිරිසිඳුකම තියන් ඉන්න
පරිස්සමින්  


වික්ටෝරියා

1/28/12

සේරි වාණිජ


සේරි වාණිජ
කතාවේ එන
සාධාරණ වෙළෙන්දා [නිවැරදි කිරීම: ස්තුතිය කතන්දර]
රන් තලිය මිළට ගත්
අත ඇති සියලු ධනය දී

සාධාරණ කම
ඉතිහාසය ලියන ලද

ඔය කිව්වට
ලෝක හොරෙක් ලු මිනිහා

කෙල්ලට බංගලි වළලුත්
ආච්චිට සල්ලි මල්ලත්
දී රවටා
ඇන්න ගිහින්
රටක් වටින රන් තලියක්

පරම්පරා ගණනාවක් එකතු කරපු
මුළු රටේම බූදලයක්
රටක් වටින රන් තලියක්

ඇන්න ගෙහුං වෙන රටකට

කෙල්ල හිතේ සන්තෝසෙන්
වළලු සොලවමින්
ආච්චිටත් හරි ඉහලයි
පැල්පත වෙනුවට හදාපු පුංචි ගෙදර
රස මසවුළු
කාපට් කල පාර එක්ක
පාලම් අරව ද මෙව්ව ද

කරනට මෙහෙමවත් දෙයක්
කවුරුත් උන්න ද මෙතුවක්
රන් තලියත් අරන් යන්න හොර රහසෙම
හිතන් උන්නු
මංකොල්ලකාරයින් මිසක්

හැබැයි ඉතින්
රටක් වටින රන් තලියේ අගය
කොච්චරක් ද දන්නෙ නැහැ
අතට ගත්තු
වෙළෙන්දා ම  මිසක්

අතට දුන්නු සල්ලි මල්ලෙ
රන් කහවනු එක්ක තිබුණු
ඉරි කොටු අකුරින් ලියවුනු කොළ මිටියක්

ඔප්පුවක්ලු ණය වෙච්චට