2/14/11

පෙම්වතුන්ගේ දිනය

ලියන්නට නම් නැත කිසිත්
කියව කියවා සිටිති පිස්සෝ
කල හැකි බොහෝ දේ
සිතන්නට ඇත ඊට වැඩියෙන්

2/13/11

නරුම හුළං

[2011 ලා නිනා දුරුත්තේ දී]

හීන් හුළඟ කිති කවනා
සීත දුරුත්තේ ඉම පැන
අගාධයෙන් මතු වී එන
කීරි ගැහෙන නරුම හුළං

සීතලයට යටින් ඇවිත්
කණට ඔබන යවුල් රහස්

අතීතයෙන් පණිවුඩයක්


එදා වේල සරු කරන්න

සැප විඳින්න
තලු මරන්න
අනාගතය උකස්‌ කරපු
මිනිස්සුනේ අහපල්ලා

පොලිය සමග වන්දි ගෙවන

කාලය ඇවිදින්

හුරතලේට කවි ලියාපු
පෙම්වතුන්ට හිත් හදාපු
හීන් දුරුතු හුළඟ නොවේ

ලේ වන්දිය ඉල්ලන් එන

ගොරම් බිරම් උසාවියේ
යම පල්ලන් අපි

සීතලයට වෙලි ගියත්
ගිනි ගතයුතු තොපේ ඔලුව
මේ හුළඟට

1/31/11

නිල්

වැසූ දෑසින් බලන
බැලූ දෑතින් වසන
බලා හොඳටම බණින

සංස්කෘතික පෙරහන් කඩ

උඩ පැත්තේ බොර නිල් කුඩු
හොර හොරෙන් උන් උන් ම රස විඳින

1/3/11

අංගුළිමාල - නැවත පළකිරීමක්

[සින්ඩිගත වන්නට පෙර 15/03/2010 දින මෙහි ම පළකළ කවියකි]

උදේ ඉඳන් දාන වෙට්ටු
කොච්චරවත් නෑ නෙ මට්ටු

හෝන් ලයිට් ඇහි පිල්ලම්

පාර දිගේ හොඳ සෙල්ලම්


පාර පනින පොඩි එවුන් ට

ආච්චිල ට සීයලා ට

බල්ලො පූසො කොයි කාටත්

බුදු සරණයි දෙවි පිහිටයි


ලීසිං මුදලාලි දුන්න

ඇඟිළි මාල ඉලක්කයට

එකතු කරන
ටිකට් කෑළි

අංගුළිමාලයා වගේ

කොච්චර හයියෙන් දිව්වත්

නුඹ තවමත් එක තැනම යි

12/28/10

කළු පාට මතක රළ

සිතුවිලේ යටි පතුළ බිඳ ගෙන
කළු පාට මඩ සමග කළතා
දෙසැම්බර් සීතළත් කැටිකර
පෙරළගෙන එන මතක රළපෙළ

ඉකි ගහන සැමරුම්
මීට කළින් දැන නොහිටිය
එදා ම හඳුනා ගත්

මතක පෙතින් කවදාවත් 
මිය යන් නැති
මළ මිනිසුන්


හැමදාමත් හිත හඬවන
සත්‍ය දසුන් පෙළ ගැස් වූ
චිත්‍රපටිය


දෙදහස් හතර අග මා
ශාපලත්
දේශයක හුන් කරුමය
ආනන්තරීයද?

12/23/10

සළු පාළිය

අතුරු මිතුරු
දඹදිවතුරු
රෙදි විකුණන  හෙට්ටියෝ

අළුත ගෙනා
මෝස්තරෙන්
රෙදි මිට මිට කපාලා
ගල් මිටියක් ඔතාලා
ලණු පැදුරක් වියාලා

ඉහළ ගෙටයි
පහළ ගෙටයි
මුළු ගමටයි කියාලා
මග දිගටම පිරීලා
මිනිස් ගඟක් ගලා ලා
ජරමරයක් හැදීලා

නෝනගෙ හැඩටම අන්දන

වෙළඳ කෙල්ලො නැළවිල්ලේ
හොර කෙල්ලන් ද
ගස්සන
කංකාණිය දොර මුල්ලේ
සල්ලි ගෙවන කූඩුව ළඟ
මහ පෝළිම එක එල්ලේ

හරි ම ස්වීට්

ෆිට්ස් ෆො යූ
මේක ගෝඩි
මෙන්න ෆැෂන්
වට්ට ක්‍රව්ඩ්
ඕ මයි ගෝඩ්
මෙන්න මේක
ගන්න ගන්න
එහෙන් ගිහින්
මෙහෙන් ගිහින්
වට්ට ක්‍රේසි
කන්ට්‍රි මේක
ඔක්කොමලා
එන්නෙ ඉතින්
අපි ආවොත්
මෑඩ් මෙයා

අවුරුද්දක් කන්න ගිහින්

අවුරුද්ද ම ඉවර කරන්
ගෙදර යමන් සෙට්ටියෝ

12/21/10

හිර ගෙදර නිවාඩුව

කඩදහිය ලිප දමා
ඉන් රැවුල අවුළුවා
එහෙ දුවන මෙහෙ දුවන
හිර ගෙදර ඉසුඹුවක

සරන්නට හැක යළිත්
නිදහසේ නිල් අහස

සිරගත ව මා ගෙවූ
සති ගණන පුරාවට
ඇය හුනිය තනිකමින්
මා සොයා හඬ හඬා

දේ දුන්න මවන්නට
දිය ඇල්ල අඳින්නට
කතන්දර ගොතන්නට
කවුද හිටියේ නුඹට

පොදි ගැහුණු සෙනෙහසට
පොළියක් ද එකතු වී
නිදහසේ සුව මිහිර
මා සමග බෙදා ගෙන
මා ගතේ වෙළී ගෙන
ඇය විඳියි අමා සුව

ඇගෙ පුංචි සිනහවෙන්
තොඳොල් බස් මිහිරකින්
පිරී යන සෙනෙහසින්
මගේ හිත ඉකි බිඳියි

සදහට ම නොවේ මා
නිදහස් ව පැමිණියේ

පුංචි දෝණියේ මෙය
හිර ගෙදර නිවාඩුව
යා යුතුය එය නිමව