8/11/10

ගිරිතලේ වැව ළඟ...

අතීතේ ඉපදී
දෑස් අහියස බිඳී විසිරෙන
රිදී දියරළ සිනා සළනා යශෝ රාවය

හාත්පස ගිනි ගහන දුහුවිලි

දැවෙන අද දින
නිවා සන

මහරු තුරු හිස්
දහස් වස් කල්
යෙහෙන් වැජඹුන
සුරන් දෑතින්
එදා හිටවුණ

තුමුල කඳු හිස් පරයමින් නැඟි
විසල් වැව් බැමි
ජව බලය රැඳි මිනිස් යුගයක
පිය ලකුණු මත

මෙදා ඒ මත කොණෙක ඇටවූ
කුඩා පැල්පත්
යාන්තම් පණ ගැට ගහන් යන
වර්තමානය

වරද කොහි විද

අතරමං වී වැව් තෙරේ
නොමැත හසරක්
අතීතය ගොඩ නැඟූ මං පෙත්
මැකී වල් බිහි වී ගොහින්

6/16/10

නැව් බඳ මත

හිරු මියගිය පාළු අහස
අඳුරු වළා මළානික ව ඔහේ ඇදෙන
කිරි පෙණ පිඬු හැපී බිඳෙන

අග මුල නැති රටා මවන

සීත සුළඟ කීරි ගැහෙන
වියරු වෙසින රාව නඟන
දෑස තෙමන
සිත කළඹන


මූදු ලිහිණි
අතරමං ව මග විමසන


සමුදුන් දුර පුරවරයේ
විදුලි රටා තරු මල්කැට
සිතිජ ඉමෙන් මැකී නිවෙන

මෑත නුහුරු දළ රළ පෙළ
ගණ කළුවර
ඉම නොපෙනෙන


මහ මුහුදේ
ගත විතරක් ඔහෙ පාවෙන
සිත පියඹා මතක දිගේ
දුර ඈතක තනිකර ආ
ආදරයේ සොඳුරු සෙවන
පෙම් සෙනසුන

බිළිඳු සිනා මතක දැහැන

රළු සමුදුර
සැඩ නලරළ
ගණ කළුවර
මතක දැහැන

පෙළ ගස්වන
කවි වියමන

5/7/10

අමතක නොකරන්න

ගිනි ගත් බිම් කඩක
සිර වුනු හද ගැස්ම
මරණයෙ කලුවරින්
නිදහස් කර ගන්න


ජීවිත පුද දුන්න
මිනිසුන් ගේ ලෙයින්
ලියැවුනු මාසයක
උණුසුම් හෝරාව
සිහිවන දින ළඟයි

අමතක නොකරන්න

මේ හැම මොහොතක ම
සුළඟේ හමා ඒ
දිවි දුන් විරුවෙකුගෙ
අවසන් හුස්ම පොද
යළි නින්නාද දෙයි
උන්ගේ විරු කෙරුම්

අසරණ පොඩි එවුන්

වියපත් මහල්ලන්
කර මත තබාගෙන
වෙඩි වරුසා මැදින්

කීයක් මියැදුනි ද?

කීයක් එකතැන් ද?
රකිනට ගොස් අනුන්

ජරපත් අදහසින්

මැස්සන් ඉහඳ ලූ
මිනිසුන් කියාගත්
ඇතමුන් ගැරහුවත්

හෙට දින යළි පිපෙන

දහසක් මල් කැකුළු
පතුරයි දස අතේ
උන්ගෙ ජීවන සුවඳ
නමින් මනුසත් කමේ

4/29/10

පා වෙලා

පාර දිගේ
ලයිට් කණු උඩින්
සරුංගලයක් වාගේ
හීන් හුළඟේ දැවටී
පා වෙලා
යනවා මා නිදැල්ලේ

නපුරු උඩු හුළඟට බයේ
පුංචි රැළි සඟවා
දඟකාර නැළවිල්ලක්
හිතුවක්කාර විදිහට
පා වෙලා
යනවා මා නිදැල්ලේ

සොඳුරු විශ්මිත ලෝකයේ
නොදුටු  නිම්හිම් සොයා
ප්‍රීතියෙන් මුසපත් වී
ගවේශකයෙකු වාගේ
පා වෙලා
යනවා මා නිදැල්ලේ

වියපත් ව ගොරහැඬි ව ගිය මුත්
සදා නො මියෙන මතක මං පෙත්
සිහින
ලෝකේ හිරු කිරණ වැද
බලන් දිස්නය දෙන අපූරුව

පා වෙලා
යනවා මා නිදැල්ලේ
සරුංගලයක් වාගේ
හීන් හුළඟේ දැවටී

4/9/10

ජීවිතය

ගෙවෙන තරමට තවත් අලුත් වන
අලුත් වන තරමට ම රස පිරෙන
පිරෙන තරමට හිතෙන් තලු මරන
තලු මරනවා විනා
රස විඳින්නට ඉඩක් නොම ලැබෙන
අනාගත සැළසුම්කරණයකි නො නවතින

3/24/10

MBC පහර දීම

කුණු ගඳ බල්ලෝ දෙ දෙනෙක් පොර කති
සද්දෙන් ගොරවති
මළ පහ වපුරති
හාරා බිම පස් ඈත විසි කරති

කුණු පස් අහුලා බලු ගූ සමගින්
නිකමුන් ඔරවති නියවති ගරහති
නැහැනෙ මේ රටේ මාධ්ය නිදහස
මර්දනයයි මේ
හරක් වගේ ඔහෙ
අදහස් පවසන අයිතිවාසිකම හොරෙන් අරන්

3/15/10

අංගුළිමාල

උදේ ඉඳන් දාන වෙට්ටු
කොච්චරවත් නෑ නෙ මට්ටු
හෝන් ලයිට් ඇහි පිල්ලම්
පාර දිගේ හොඳ සෙල්ලම්


පාර පනින පොඩි එවුන් ට
ආච්චිල ට සීයලා ට
බල්ලො පූසො කොයි කාටත්
බුදු සරණයි දෙවි පිහිටයි


ලීසිං මුදලාලි දුන්න
ඇඟිළි මාල ඉලක්කයට
එකතු කරන ටිකට් කෑළි 


අංගුළිමාලයා වගේ
කොච්චර හයියෙන් දිව්වත්
නුඹ තවමත් එක තැනම යි