1/28/12

සේරි වාණිජ


සේරි වාණිජ
කතාවේ එන
සාධාරණ වෙළෙන්දා [නිවැරදි කිරීම: ස්තුතිය කතන්දර]
රන් තලිය මිළට ගත්
අත ඇති සියලු ධනය දී

සාධාරණ කම
ඉතිහාසය ලියන ලද

ඔය කිව්වට
ලෝක හොරෙක් ලු මිනිහා

කෙල්ලට බංගලි වළලුත්
ආච්චිට සල්ලි මල්ලත්
දී රවටා
ඇන්න ගිහින්
රටක් වටින රන් තලියක්

පරම්පරා ගණනාවක් එකතු කරපු
මුළු රටේම බූදලයක්
රටක් වටින රන් තලියක්

ඇන්න ගෙහුං වෙන රටකට

කෙල්ල හිතේ සන්තෝසෙන්
වළලු සොලවමින්
ආච්චිටත් හරි ඉහලයි
පැල්පත වෙනුවට හදාපු පුංචි ගෙදර
රස මසවුළු
කාපට් කල පාර එක්ක
පාලම් අරව ද මෙව්ව ද

කරනට මෙහෙමවත් දෙයක්
කවුරුත් උන්න ද මෙතුවක්
රන් තලියත් අරන් යන්න හොර රහසෙම
හිතන් උන්නු
මංකොල්ලකාරයින් මිසක්

හැබැයි ඉතින්
රටක් වටින රන් තලියේ අගය
කොච්චරක් ද දන්නෙ නැහැ
අතට ගත්තු
වෙළෙන්දා ම  මිසක්

අතට දුන්නු සල්ලි මල්ලෙ
රන් කහවනු එක්ක තිබුණු
ඉරි කොටු අකුරින් ලියවුනු කොළ මිටියක්

ඔප්පුවක්ලු ණය වෙච්චට

1/11/12

මී රාළට නැවත වරක්


ඉස්තුතියි අහුවුනාට
අපි අටවපු මී උගුලට

ඔන්න ගිහින් දැම්මා
වල්බිහි වුන වෙල් යායට
සමෘද්ධියට තව චුට්ටයි
නගර සභා කුණු ලොරියෙන් ඇවිත් හලන

මං දන්නව
ඔහේ කැමති නැති බව නම්
ඔහේ ඉතින් හිතන් ඉන්නෙ
ඔහෙයි අපියි
එක මේසෙක වාඩිවෙලා අහර බුදින
දවස ගැනනෙ

ඒත් මීයො
එහෙම දිනක් හදා ගන්න
ගත්තු හෑම මහන්සියම
වතුරෙ ගිහින්
අපට ලැබුනෙ
මහමාරිය වගේ දරුණු
සමාජගත වසංගතයි

ඊට වඩා මෙහෙම හොඳයි.
මේ විදිහම පෙරට වඩා යහපත් ලෙස
හදා ගනිමු
ඉස්සර මී කතුරට දෙන ඔහෙට එහෙම
අපි ජීවිත දානෙ දුන්න වගේ

ඔහේ ඉතින් දුටුව තමයි

ඔහේව ඇරලන්න  ආපු
පුංචි එකී
මිකී මවුස්ලා දෙන්නෙක් තුරුළු කරන්
ඔහේ මුදා හැරිය බවට
සාක්කියට වගේ ගෙනැත්

එයා හිතන්නේ එහෙමයි
සමානතාවය විතරයි
ඔහෙත් එක්ක ඔට්ටු සෙල්ලමක් කරන්න
කොටින්ම
පුංචි එකී හඬා වැටිල
කිව්ව ඔහෙව තියා ගන්න

ඒ කාලේ අපි හිතුවෙත් ඔහොම තමා.


මං දන්නවා

වෙල්යායේ සර්ප විමන්
වල්පූසන් කපුටු දෙනෙත්
ඔහේ වටේ කරකැවෙවි

ඒක ඉතින් අපි කාටත් උරුම දෙයක්

මිනිස් ලෝකේ අපේ වටෙත්
උකුසු දෑස් හැම නිතරම
අහු වෙනකම් බලන් ඉන්නෙ

කොහොම වුනත්

ඔහේ නිකම් අපේ ගෙදර
කිසිම වැඩක් නොකර ඉඳං
දවස පුරා උද්ඝෝෂණ
සියල්ල සම සමාජයක්

ඊට මීට වඩා හොඳයි

මහන්සි වී වැඩ කරලා
ලමිස්සියෙක් සහේට ගෙන
කුටුම්බයක් සුරකින එක

ඔන්න දුන්න ඇහැ පාදල

සුබ හෙට දවසක් මීයෝ

12/23/11

මී රාළට


මී රාල

ඔන්න ඇටෙව්වා උගුලක්‌
අහුවෙන එක ඔහෙගෙ වැඩක්
පනට ආදරේ ඇත්නම්

ඔහේ දාන දාන වෙට්ටුවලට
උගුල් අටවගන්න තරම්
අපි මහ උගුල් කාරයින් නොවේය 

ඔහෙත් එක්ක
ඔට්ටු සෙල්ලමක් කරන්න
අපට නොමැත වෙලාවකුත්

මෙහෙම සමාවක් දෙන්නෙත්
පින පව අදහලා නොවේ
මේ පොළොවේ
පය ගහන්න අපිත් එක්ක
ඔහෙටත් ඇති උරුමෙ නිසා


එක ගෙදරක ඉන්න බැහැනෙ
අපටත් ඇත දරු මල්ලෝ
ඔහේ ගේන ලෙඩ එක්කල
අනික ඉතින්
තමුසෙ හරිම ගඳයි ඕයි

අහු උනොතින්
ගිහින් දාන්නම් කොහෙ හරි
මිනිස්  සතා නැති මානෙක
ඔහෙටත් හොඳ ලමිස්සියක්
හම්බ වෙන්න
දරු පවුලක් හදා  ගන්න

හැමදාමත් අපිව කකා
නිකම වගේ ඉන්න එකේ

හැබැයි පුතෝ
අහු නොවුනොත්
තෝර ගනින් මැරෙන ක්‍රමය

මී පාසානම් කනවද
කතුරක් උඩ
ව්‍යවච්චේදනය වෙනවද
එහෙම නැතුව
ඇලිල ඉන්නවද කියමුකො
අලුත් පන්නෙ ලාටු ගොඩක

ඔන්න පුතෝ 

නොකිව්වයි කියන්නෙපා
පනට ආදරේ ඇත්නම්
පනින එකයි මේ උගුලට
අවසන් දින
ජනවාරියෙ පළමු දවස

එදා ඉඳං අපි හතුරෝ

12/20/11

ඉතිරි මුදල


ඇරුණු දොරින් කොරිඩෝවට
බිත්තියකින් කෙළවර වෙන

අසිහිය
අන්ධකාරය
රෝද පුටුව

විස්මය 

කන් අදහන්න බැරි
ඒ වචන පේලිය
කරුණා බරිත නපුරු මුහුණ
දොස්තර

ටික් ටොක් ටික් ටොක්
දුඹුලු  බැඳුන
තඩි ඔරලෝසුව

"පුතා අපි යමු තව කොහේ හරි"
"හ්ම්ම්ම්"
"මේ දොස්තර විශ්වාසද?"
"දොස්තර මොනව කරන්නද අම්මේ?"

පසුබිමින්
කතා බහ
හිත යටින්
නිහැඬියාව

සීතල
නුහුරුව
හිතට නුහුරු සිතිවිලි
මටත් හොරෙන්
නියම කරපු 

ගමන

පුංචි එවුන්

...
කඳුළු
...

දඩස් දඩස්

රෝද පුටුව
කොරිඩෝවේ
හැල්මෙ දුවන
ඒ වේගෙන්
පසුපස එන
ගතේ  වෙළුණ
මට හුරු අත

ඒ උණුහුම


තව ඒකත් දින කීයද?


කඳුළු


රෝද පුටුව 

කවුන්ටරේ
මහ නැවතුම

හතර අතේ
නිලංකාර කරන
ගිනි පන්දම්
නර්ස් කෙල්ලො විහිළු තහළු

අනේ මගෙත්

හිනා පිරුණු
ඊයෙ දවස

කඳුළු


හිත හැඬුව ද

ඇස නො හඬන
ගෙවන්න බැරි
කොට දිගු කාලය

ජීවිතයේ

සම්පූර්ණ නෝට්ටුවම
රැගෙන ඇවිත්
බිල ගෙව්වම
රෝහල දුන්
ඉතිරි මුදල

ගණන් කරන

ඔරලෝසුව
ටික් ටොක් ටික් ටොක්

10/16/11

ටයි මාමා

නොයෙකුත්  භූමිකම්පා සුළි සුළං ගැන
ගිනිගත්  සටන් හා මහ අවපාත එන 
දහසක් පුවත් අතරේ තිස්සෙම ඇසෙන
රහසක් කියා ඔහු නික්මී ගොස් තිබිණ

රේඛාවකින්  ඇරඹුණු දිගු ගමන් පෙත 
පළලින් උසින් පැතිරී ඇත සතර අත
මහ බරපතල් මුහුණක ගන රැවුල් කෙත
මුදු ලෙස පිපුණු සිනහව තව මතක ඇත

කැලේ  මැදින් දුවගෙන ආ හරි හාවා
වීනාවක්‌ වයා දුක් ගීයක් ගැයුවා
පිස්සු වුනත් පූසන් බක්කිය ගාවා
අපේ ඇසින් කඳුලක් හොරකම් කෙරුවා

දොස්තර හොඳ හිතේ ඉන්නේ කොහෙද ඔහේ
සතුනුත් හඬා වැලපෙන හඬ ඔහුට ඇහේ
මැරියන් රොබින් හඳයා පිට නැගී ඔහේ
ඔෂිනු ත් එක්ක මල ගෙදරට එනව මෙහේ

පෝලිම දිගට තව අය බොහොමත් ඇතිය
හිත්වල ඇදෙන රිය පෙරහැර බොහො දිගය
ඔබ දැඩි කල දුවා දරුවන් අපමණය
වියපත් වුනත් ඒ සිත් තව ඔබ ළඟය

සිංහල චිත්‍රපටියේ සිඳ පෙකනිවැල
සිනමාවක් ළමුන් හට දායාද කල
අද හරකුන් මඬින රූ වාහිනී වල
තවමත් දිලෙන තරු පෙළ ඔබ එලිය කල

පොඩි හිත් ඔබ තැනු මතු ලොව දිනන්නට

ලොකු හිත් වී දිනා ඇත ලොව හතර වට
සිනහව සමග බුද්ධිය ඇතිනම් අපට
සැකසුම අදියුරුව හිමි විය යුතු ඔබට

8/26/11

කතන්දර

[මේ කවිය තවම නිර්මාණ පල කිරීමට තරම් තාක්ෂණික පරිචයක් නැති කෙනෙකුගෙන් කොපි කල එකකි]

ටිකිලි ටිකිලි ටිකිලි ලියා

කලෙත් අලං ලිඳට ගියා

---

ටිකිලි ලියා අක්කියි
කබල ගොයයි දියබලියයි
දැන් හලි යාලුයි
ඒගොල්ලෝ ඔක්කොම යනවලු
පාටි එකට
ස්ලීපින් බියුටී අක්කිගෙ උපන් දිනේ...

කිලි සුදු හාවයි ඉබ්බයි
හති අලිනව
ඔන්චිල්ලාවට හේත්තු වී
ඒ දෙන්නා බලන් ඉන්නෙ
කුන්ෆු පැන්ඩ චිත්‍රපටිය
මෙන්න 

කුන්ෆු පැන්ඩ
මොනල එක්ක ගහ ගන්නව...

ස්නෝ වයිට් අක්කි එක්ක

බෙලා අක්කි හලි යාලුයි
ඒ ගොල්ලෝ
ඉස්කෝලේ යන්නෙ එකට
කාල් එකේ...

ක්‍රීම් පාට මලත් එක්ක 

මාලි බික්කි තලා වෙලා
එයා අඬනවා හොඳටම
ඈ කියල...

හඳමාම ඈත අහසෙ

මූණ උඩින් අත තියාන
හොඳට බලන්නකෝ
මෙන්න මේ වගේ
මේ තියෙන්නේ අතේ ඇඟිලි...

 ---


ඉතිහාසය පුරාවටම

ගොතපු කතා අහල අහල
මදි වෙලාද
පුංචි කෙල්ල තව හදන්නෙ?

ටිකිරි කතා වලින්

ජීවිතයේ මහ ගින්දර නිවිල ගිහින්
හිත පුරාම 

පාට පාට පෙති පහ පහ මල් පිපෙනව

පුංචි එවුන් වගේ අපිත්

ඉකි ගහ ගහ හිනා වෙනව
කඳුළු එක්ක

7/25/11

සුනිල් අයිය... දන්නෙ නැද්ද?


"හලෝ හලෝ කොහොමද'තින්...
උඹට මතක නැද්ද මාව?
කාලෙකින්නෙ කෝල් කළේ

හපොයි උඹල
හොහ් හොහ් හොහ්
දන්නෙ නැද්ද
සුනිල් අයිය
මම මතුගම"

"ඔව්වොව්වොව් මහ වත්තේ

බිස්නස් කළ
තැඹිලි තමයි
තැඹිලි තමයි"

"කොහොමද ඔය පැත්ත ඉතින්"

"නැහැනෙ මල්ලි විවේකයක්
අමත්තියන්සේ කටයුතු"

"ඔව්වොව්වොව් අපේ එතුම

ගත්තනෙ මං එයා ළඟට"
"ගණ සැරේට වැඩ නෙ මල්ලි
එතන වැඩයි චන්ද වැඩයි"


"ගිය චන්දෙද?
සතියක් මං එහේ උන්නෙ
මං ගැන නො
වැ විස්සාසේ
අදයි ඔන්න වැඩට යන්නෙ"

"නිවාඩුවත් නැතුව හිටියෙ
ඕටී හා බටා එක්ක
ඔව්වොව්වොව්
නැතුව නැතුව
හොහ් හොහ් හොහ් "

ඉදිරි අසුනෙ සැපට ඉඳං

දොඩමලු වන
සුනිල් අයිය
ඔහු මතුගම
දන්නෙ නැද්ද?

කට පුරෝල හිනා ගඟයි

පුරාජේරු ඉහට උඩින්
තඩි දම්වැල
රනින් තැනූ
දකුණු අතේ
දුර කතනම දෙකයි ඔන්න

සීට් එකේ කොනේ ඉන්න

නාඳුනනා නෑම්බියට
ඒ සී දුම් කවුළු දෙකම
වෙස්සන්තර වගේ පුදන

කොන්දොස්තර එක්ක නිතර

දොඩමලු වෙන
උගෙ බස් එක වගේ හිඳින
බස් එක හැප්පෙන්න ගියපු
ලොරියට සත්තමක් දමන

සුනිල් අයිය

ඔහු මතුගම
දන්නෙ නැද්ද?

කොකා වගේ සුද පිරෙන්න

අත් දිග කමිසයක් ඇඳල
කණ කොකා ගෙ කළු පේන්නෙ
අත දිග ඇරියම ද කොහෙද
තින්ත පාර
පාප්ප තලි
රෝම පිරුණු බාහු දෙකේ
ගිය සතියේ හැම රැයේම
කාපු කට්ට

"ඔව් ඔව් බන්

සම්බන්ධීකරණ කියන

මහත්තයගෙ ගාව තමයි 
හැබැයි මමයි වැඩ බලන්නෙ
එතන කෙරෙන ඕන වැඩක්
මං බැලුවොත් තමයි ඉතින්"

"වරෙන් වරෙන්

මං දෙන්නම් තිතට වැඩේ"

වැඩිම උනොත් කාරියාලෙ ලියුං බෙදන

ඒ වුනාට
ලේකම් ටත් උපදෙස් දෙන
සුනිල් අයිය
ඔහු මතුගම
දන්නෙ නැද්ද?

එතුමට පින නොපෑදෙන්ට

නම්බු  පිටින්
මහ වත්තේ තැඹිලි බාන
කරේ තියං මග විකුණන
සුනිල් අයිය
ඔහු මතුගම
දන්නෙ නැද්ද?

තව අවුරු
දු පහයි ඔන්‍න‍
කට්ට උඩින් දාපු මසට 
මල්මාලය ෆිට් උනාම
ජය වේවා
අපි දිනවමු
අපට හිතැති
රටට පෙමැති
සුනිල් මැතිඳු
ඔහු මතුගම

එදාටවත් දන්නෙ නැතෑ