8/22/09

කවියා මිය ගිහින්

සුදු කොඩිවැල් නොමැත
මල් කම් අනැවැසියි
දෙන්නට පිරිකරක්
කවද ද මළේ ඌ?

හඬනට සිප වැළඳ
නැහැ ජන පෙරහරක්
කවුරුත් නොදන්නා
අසරණ මරණයක්

කොහොමද කොතනදි ද
මරණය සිදු වුණේ?

හරියට දන්නෙ නෑ

හදවත නැවතුනි ද
සිත් පිත් නැති ලොවක?
අවසඟ වි ද දෙ අත
සිත් ලෙස ලියන්නට?

රකිනට බඩ වියත
වැඩි දෝ වෙහෙසුණා
රෑ නිදි මරා ගෙන
සති අන්තයේ දිත්

ලස්සන සුබ සිහින
කෝ ඒ සොදුරු ලොව
වෙහෙසුණ තරමට ම
වී දෝ මහ දෙයක්

තැනුවේ මාළිගා
හැදුනේ මුඩුක්කුව
ඒක ත් එක රැයින්
කැඩිලා නටඹුන් ව

වෙහෙසී හැදූවත්
කාටත් වැඩක් නැති
මල් මල් ලෝකයක්

දිළිසෙණ රුපියලට
යට වී සැඟ ව ගිය
මිල කල නොහැකි වූ
සුන්දර පෙර දිනය

වැරදුණ තැන කොහෙද?

සිතුවිලි ලණු ගොඩක්
කොතනින් ලිහන්න ද?
ලිහුවත් පලක් වෙ ද?

දැන් ඔහු මිය ගිහින්
කිසිවක් නොම තබා
සිහිවටනයක් ලෙස

නිම් නැති වැඩ ගොඩක
යාන්ත්‍රික මා දමා
මගෙ සිත තුල සිටිය
කවුරුත් නොදන්නා
කළ නිමැවුමක් නැති
සම්මාන ද නොලද
කවියා මිය ගිහින්