4/30/11

මාළුවාගේ ජිවන චක්‍රය

[කතන්දරගේ චිකන් පාටියට මගෙන් මාළු දීසියක්]

කඩවල ඉන්න මාළුන් රසකර උයලා
එතනට එන්නේ සීතල පෙට්ටි
යෙ ඉඳලා
ඒකත් ට්‍රෝලරේ හොඳටම කල් මරලා
ජිවිතයට වඩා ඌ ඉන්නේ මැරිලා

එතනින් නොනැවතේ දිවි චක්කරය උගේ
ඔක්කොම මාළු නොම විකිනෙයි දවස අගේ
එම ඉයු මාළු බැදලා ලැමිනේට් වගේ
හෙට හා අනිද්දා කඩ බක්කියට නැගේ

ඔක්කොම එකතු කල විට එක එක මාළු
පරපුරු ගණන් එක කඩයක විකිණේ ලු
මුහුදේ ඉන්න කාලෙදී නොම හමු වේලු
බක්කියෙ ෆැමිලි ගෙට් ටුගෙදර සැමරේ ලු   

4/18/11

අහඹු සිතුවමක් [DJPට ලියු පිළිතුරක්]

දැන දැන ම නුවූවත්
අප අඳින සිතුවමක්
ඉතුරු වනු ඇත දිනෙක

එහෙත් එය අඳින්නේ
වෙන ම තිරයක නොවේ
එහි අඳින වර්ණ හැඩ
අපට රිසි ලෙස නොයේ

නෙක වර්ණ පැටලවූ
කැමෆ්ලාජ් හැඩි බිමක
අහු වෙච්ච පාටකින්
අහඹු ලෙස කලබලෙන්
රිසි නොරිසි බව නොදැන

සිතුවමක් අඳිනු ඇත

ජීවිතේ පිණි බිඳට
හිරු ගින්න එන්න පෙර

4/8/11

ජීවිතය [නැවත පළ කිරීමක්‌]

[හරියටම වසරකට පෙර පළ කළ එක් කවියක්
කවිය නොවෙනස් ව ගෙවී ගිය හිස් වසරක්]

ගෙවෙන තරමට තවත් අලුත් වන
අලුත් වන තරමට ම රස පිරෙන
පිරෙන තරමට හිතෙන් තලු මරන
තලු මරනවා විනා
රස විඳින්නට ඉඩක් නොම ලැබෙන
අනාගත සැළසුම්කරණයකි නො නවතින