12/23/11

මී රාළට


මී රාල

ඔන්න ඇටෙව්වා උගුලක්‌
අහුවෙන එක ඔහෙගෙ වැඩක්
පනට ආදරේ ඇත්නම්

ඔහේ දාන දාන වෙට්ටුවලට
උගුල් අටවගන්න තරම්
අපි මහ උගුල් කාරයින් නොවේය 

ඔහෙත් එක්ක
ඔට්ටු සෙල්ලමක් කරන්න
අපට නොමැත වෙලාවකුත්

මෙහෙම සමාවක් දෙන්නෙත්
පින පව අදහලා නොවේ
මේ පොළොවේ
පය ගහන්න අපිත් එක්ක
ඔහෙටත් ඇති උරුමෙ නිසා


එක ගෙදරක ඉන්න බැහැනෙ
අපටත් ඇත දරු මල්ලෝ
ඔහේ ගේන ලෙඩ එක්කල
අනික ඉතින්
තමුසෙ හරිම ගඳයි ඕයි

අහු උනොතින්
ගිහින් දාන්නම් කොහෙ හරි
මිනිස්  සතා නැති මානෙක
ඔහෙටත් හොඳ ලමිස්සියක්
හම්බ වෙන්න
දරු පවුලක් හදා  ගන්න

හැමදාමත් අපිව කකා
නිකම වගේ ඉන්න එකේ

හැබැයි පුතෝ
අහු නොවුනොත්
තෝර ගනින් මැරෙන ක්‍රමය

මී පාසානම් කනවද
කතුරක් උඩ
ව්‍යවච්චේදනය වෙනවද
එහෙම නැතුව
ඇලිල ඉන්නවද කියමුකො
අලුත් පන්නෙ ලාටු ගොඩක

ඔන්න පුතෝ 

නොකිව්වයි කියන්නෙපා
පනට ආදරේ ඇත්නම්
පනින එකයි මේ උගුලට
අවසන් දින
ජනවාරියෙ පළමු දවස

එදා ඉඳං අපි හතුරෝ

12/20/11

ඉතිරි මුදල


ඇරුණු දොරින් කොරිඩෝවට
බිත්තියකින් කෙළවර වෙන

අසිහිය
අන්ධකාරය
රෝද පුටුව

විස්මය 

කන් අදහන්න බැරි
ඒ වචන පේලිය
කරුණා බරිත නපුරු මුහුණ
දොස්තර

ටික් ටොක් ටික් ටොක්
දුඹුලු  බැඳුන
තඩි ඔරලෝසුව

"පුතා අපි යමු තව කොහේ හරි"
"හ්ම්ම්ම්"
"මේ දොස්තර විශ්වාසද?"
"දොස්තර මොනව කරන්නද අම්මේ?"

පසුබිමින්
කතා බහ
හිත යටින්
නිහැඬියාව

සීතල
නුහුරුව
හිතට නුහුරු සිතිවිලි
මටත් හොරෙන්
නියම කරපු 

ගමන

පුංචි එවුන්

...
කඳුළු
...

දඩස් දඩස්

රෝද පුටුව
කොරිඩෝවේ
හැල්මෙ දුවන
ඒ වේගෙන්
පසුපස එන
ගතේ  වෙළුණ
මට හුරු අත

ඒ උණුහුම


තව ඒකත් දින කීයද?


කඳුළු


රෝද පුටුව 

කවුන්ටරේ
මහ නැවතුම

හතර අතේ
නිලංකාර කරන
ගිනි පන්දම්
නර්ස් කෙල්ලො විහිළු තහළු

අනේ මගෙත්

හිනා පිරුණු
ඊයෙ දවස

කඳුළු


හිත හැඬුව ද

ඇස නො හඬන
ගෙවන්න බැරි
කොට දිගු කාලය

ජීවිතයේ

සම්පූර්ණ නෝට්ටුවම
රැගෙන ඇවිත්
බිල ගෙව්වම
රෝහල දුන්
ඉතිරි මුදල

ගණන් කරන

ඔරලෝසුව
ටික් ටොක් ටික් ටොක්

10/16/11

ටයි මාමා

නොයෙකුත්  භූමිකම්පා සුළි සුළං ගැන
ගිනිගත්  සටන් හා මහ අවපාත එන 
දහසක් පුවත් අතරේ තිස්සෙම ඇසෙන
රහසක් කියා ඔහු නික්මී ගොස් තිබිණ

රේඛාවකින්  ඇරඹුණු දිගු ගමන් පෙත 
පළලින් උසින් පැතිරී ඇත සතර අත
මහ බරපතල් මුහුණක ගන රැවුල් කෙත
මුදු ලෙස පිපුණු සිනහව තව මතක ඇත

කැලේ  මැදින් දුවගෙන ආ හරි හාවා
වීනාවක්‌ වයා දුක් ගීයක් ගැයුවා
පිස්සු වුනත් පූසන් බක්කිය ගාවා
අපේ ඇසින් කඳුලක් හොරකම් කෙරුවා

දොස්තර හොඳ හිතේ ඉන්නේ කොහෙද ඔහේ
සතුනුත් හඬා වැලපෙන හඬ ඔහුට ඇහේ
මැරියන් රොබින් හඳයා පිට නැගී ඔහේ
ඔෂිනු ත් එක්ක මල ගෙදරට එනව මෙහේ

පෝලිම දිගට තව අය බොහොමත් ඇතිය
හිත්වල ඇදෙන රිය පෙරහැර බොහො දිගය
ඔබ දැඩි කල දුවා දරුවන් අපමණය
වියපත් වුනත් ඒ සිත් තව ඔබ ළඟය

සිංහල චිත්‍රපටියේ සිඳ පෙකනිවැල
සිනමාවක් ළමුන් හට දායාද කල
අද හරකුන් මඬින රූ වාහිනී වල
තවමත් දිලෙන තරු පෙළ ඔබ එලිය කල

පොඩි හිත් ඔබ තැනු මතු ලොව දිනන්නට

ලොකු හිත් වී දිනා ඇත ලොව හතර වට
සිනහව සමග බුද්ධිය ඇතිනම් අපට
සැකසුම අදියුරුව හිමි විය යුතු ඔබට

8/26/11

කතන්දර

[මේ කවිය තවම නිර්මාණ පල කිරීමට තරම් තාක්ෂණික පරිචයක් නැති කෙනෙකුගෙන් කොපි කල එකකි]

ටිකිලි ටිකිලි ටිකිලි ලියා

කලෙත් අලං ලිඳට ගියා

---

ටිකිලි ලියා අක්කියි
කබල ගොයයි දියබලියයි
දැන් හලි යාලුයි
ඒගොල්ලෝ ඔක්කොම යනවලු
පාටි එකට
ස්ලීපින් බියුටී අක්කිගෙ උපන් දිනේ...

කිලි සුදු හාවයි ඉබ්බයි
හති අලිනව
ඔන්චිල්ලාවට හේත්තු වී
ඒ දෙන්නා බලන් ඉන්නෙ
කුන්ෆු පැන්ඩ චිත්‍රපටිය
මෙන්න 

කුන්ෆු පැන්ඩ
මොනල එක්ක ගහ ගන්නව...

ස්නෝ වයිට් අක්කි එක්ක

බෙලා අක්කි හලි යාලුයි
ඒ ගොල්ලෝ
ඉස්කෝලේ යන්නෙ එකට
කාල් එකේ...

ක්‍රීම් පාට මලත් එක්ක 

මාලි බික්කි තලා වෙලා
එයා අඬනවා හොඳටම
ඈ කියල...

හඳමාම ඈත අහසෙ

මූණ උඩින් අත තියාන
හොඳට බලන්නකෝ
මෙන්න මේ වගේ
මේ තියෙන්නේ අතේ ඇඟිලි...

 ---


ඉතිහාසය පුරාවටම

ගොතපු කතා අහල අහල
මදි වෙලාද
පුංචි කෙල්ල තව හදන්නෙ?

ටිකිරි කතා වලින්

ජීවිතයේ මහ ගින්දර නිවිල ගිහින්
හිත පුරාම 

පාට පාට පෙති පහ පහ මල් පිපෙනව

පුංචි එවුන් වගේ අපිත්

ඉකි ගහ ගහ හිනා වෙනව
කඳුළු එක්ක

7/25/11

සුනිල් අයිය... දන්නෙ නැද්ද?


"හලෝ හලෝ කොහොමද'තින්...
උඹට මතක නැද්ද මාව?
කාලෙකින්නෙ කෝල් කළේ

හපොයි උඹල
හොහ් හොහ් හොහ්
දන්නෙ නැද්ද
සුනිල් අයිය
මම මතුගම"

"ඔව්වොව්වොව් මහ වත්තේ

බිස්නස් කළ
තැඹිලි තමයි
තැඹිලි තමයි"

"කොහොමද ඔය පැත්ත ඉතින්"

"නැහැනෙ මල්ලි විවේකයක්
අමත්තියන්සේ කටයුතු"

"ඔව්වොව්වොව් අපේ එතුම

ගත්තනෙ මං එයා ළඟට"
"ගණ සැරේට වැඩ නෙ මල්ලි
එතන වැඩයි චන්ද වැඩයි"


"ගිය චන්දෙද?
සතියක් මං එහේ උන්නෙ
මං ගැන නො
වැ විස්සාසේ
අදයි ඔන්න වැඩට යන්නෙ"

"නිවාඩුවත් නැතුව හිටියෙ
ඕටී හා බටා එක්ක
ඔව්වොව්වොව්
නැතුව නැතුව
හොහ් හොහ් හොහ් "

ඉදිරි අසුනෙ සැපට ඉඳං

දොඩමලු වන
සුනිල් අයිය
ඔහු මතුගම
දන්නෙ නැද්ද?

කට පුරෝල හිනා ගඟයි

පුරාජේරු ඉහට උඩින්
තඩි දම්වැල
රනින් තැනූ
දකුණු අතේ
දුර කතනම දෙකයි ඔන්න

සීට් එකේ කොනේ ඉන්න

නාඳුනනා නෑම්බියට
ඒ සී දුම් කවුළු දෙකම
වෙස්සන්තර වගේ පුදන

කොන්දොස්තර එක්ක නිතර

දොඩමලු වෙන
උගෙ බස් එක වගේ හිඳින
බස් එක හැප්පෙන්න ගියපු
ලොරියට සත්තමක් දමන

සුනිල් අයිය

ඔහු මතුගම
දන්නෙ නැද්ද?

කොකා වගේ සුද පිරෙන්න

අත් දිග කමිසයක් ඇඳල
කණ කොකා ගෙ කළු පේන්නෙ
අත දිග ඇරියම ද කොහෙද
තින්ත පාර
පාප්ප තලි
රෝම පිරුණු බාහු දෙකේ
ගිය සතියේ හැම රැයේම
කාපු කට්ට

"ඔව් ඔව් බන්

සම්බන්ධීකරණ කියන

මහත්තයගෙ ගාව තමයි 
හැබැයි මමයි වැඩ බලන්නෙ
එතන කෙරෙන ඕන වැඩක්
මං බැලුවොත් තමයි ඉතින්"

"වරෙන් වරෙන්

මං දෙන්නම් තිතට වැඩේ"

වැඩිම උනොත් කාරියාලෙ ලියුං බෙදන

ඒ වුනාට
ලේකම් ටත් උපදෙස් දෙන
සුනිල් අයිය
ඔහු මතුගම
දන්නෙ නැද්ද?

එතුමට පින නොපෑදෙන්ට

නම්බු  පිටින්
මහ වත්තේ තැඹිලි බාන
කරේ තියං මග විකුණන
සුනිල් අයිය
ඔහු මතුගම
දන්නෙ නැද්ද?

තව අවුරු
දු පහයි ඔන්‍න‍
කට්ට උඩින් දාපු මසට 
මල්මාලය ෆිට් උනාම
ජය වේවා
අපි දිනවමු
අපට හිතැති
රටට පෙමැති
සුනිල් මැතිඳු
ඔහු මතුගම

එදාටවත් දන්නෙ නැතෑ


7/7/11

ගමන

පිනි වැටුණු තුරු මුදුන් අතරින්
පියඹලා එන පොඩි කුරුල්ලෙක්
නොදන්නා බසකින්
යමක් තෙපලයි
මග දෙසට පෙර ගමන් කරමින්
යන්ට අමතයි

ඈත හිමයේ සීත මාරුත
කළඹවා ගෙන කේඬෑරි ගස්
ඉතිරි වී ඇති කෙසඟ කොළ ටික
උදුර ගෙන යයි කප්පමට
සීත කාලයට
බඩ ගින්දර විතරක් ඉතුරු කර

කැණීමඩල බිඳ වැටුණු
දැලි අඟුරු දුම් දමන 
ගිනි ගත්ත නිවහනේ
ඉතිරි වූ පොඩි මුල්ල
තවම මට සෙවන දේ

මකුළු දැල් සිහි වටන
දුහුවිල්ලෙ ඇඳි රටා
අතීතෙන් මතුව එන සෙවනැලි
තෙත පොලොව නගන ගඳ
තවම හුරු සුවඳක්ය

කාලයක් බලා හුන්
දුර තරුව අවදි වී 
පාර හෙළි කර තිබේ
දුරු ගමන අරඹන්න දැන් කාලයයි

මතක අහුරක් සමග
ඔහේ තනිකම විඳිමි
ඔද්දල් ව ගල් ගැහුණු විපිළිසර හිත
වියපත් ව වාරු සිඳී දෙපා
සමගින්

දුර  තරුව පායන්න
ගතවෙච්ච කල් වැඩියි
දුරු ගමන යා හැකි ද
මහල්ලෙකු හට?

6/20/11

නුඹ... [ඉරමල වැටිලා]

ඉරගල කන්දෙන් ඉරමල වැටිලා
ගොම්මන් කළුවර මිදුලට ඇවිදින්
රුක් අත්තන මල් සුවඳ ගෙනාවට
නුඹේ  සුවඳ මට ඊට වැඩියි

රෑන ගිරා හඬ යටපත් කරගෙන

කළුවර එන්නේ රැහැයි හඬින්
හීන හතෙන් නුඹ පිටමං වූ දා
ඒ කළුවර යයි ගෙටත් උඩින්

මුකලාන මැද හේන දිහාවෙන් 

රෑ සීපාවන් හඬනු ඇසේ
හේන කුඹුර පැල උන්ට ගියාදෙන් 
නුඹ තනිකර මම යමි ද කෙසේ?

[ගීතයේ නිධාන කතාව මෙතනින් බලන්න]

5/31/11

කුවේණිය

[ධනුෂ්කා නිශාදී සොයුරියගේ කවියකට ලියූ පිළිතුරක්]

කුවේණිය
සට කපට කම් ගුප්ත විද්‍යා
කොල්ලන් දැලෙහි ලන
ගෙනගොස් පොකුණ තුල ලන

කුවේණිය
දල ඇති යකින්නිය
ටිකෙන් ටික උන් ලේ බොන
උහු ද දැපනේ වැටී වැහැරෙන

කුවේණිය
බාහු යුවලක සිරවුණු
උතුඟු පෙනුමට වශී වන
රවටන්ට ගොස් රැවටෙන

කුවේණිය
සැඳෑ සිහිලේ නැළවෙන
වෙණ තතක මිහිරෙන
මුළු හිත පුරා පෙම් කරන

කුවේණිය
ඔහු නමින් යුදයට යන
ටජ් මහල මතු තනවන
පුද බිම ලෙයින් සෝදන

කුවේණිය
බෝ කලක සිට රැවටෙන
කුණු මුල්ලකට විසිවන
වෛරයෙන් ගිනි ගෙන
සාප ලන හිත ඇවිලෙන

කුවේණිය
මහ මග නිති සරණ
දරු බරින් වන අසරණ
උන් කුස පුරන්නට
ලේ මස් සිරුර දන් දෙන

කුවේණිය

සදාකල් නොමියෙන
මැරි මැරී යලි උපදින

5/14/11

ආර්ථිකේ ["අපි" කියන්නෙ]

නිදහස් යයි කියා ගත්ත
ආර්ථිකේ ගිනි එන්ජිම
තවම අඳුරු කාමරයේ

කවුළුව විතරයි විවෘත

එතනින් නිතරම හමන්නෙ
වටේ පිටේ කාණු දුගඳ
[හුළං හමන මග කියන්නෙ
හුළං මිසක් අපි නොවෙයිනෙ]

කාලයාගෙ දූෂණයට‍
දුම් කවුළුව වැහිල ගිහින්

කිරිං කිරිං ගගා දුවන
ගිනි එන්ජිම නගන දුමින්
කහින ගමන් "අපි" කියන්නෙ
වහමු කියල ජනේලයත්

5/11/11

රතු කමිසය [සින්ඩි ගත වන්නට පෙර මෙහි ම පළ කළ කවියක්]


[කවදාවත් නිමා නොවන රතු කමිසේ කතාව නැවත සිහිපත් කරන්නට සිදුව තිබේ] 

රතු කමිසය
අඳින්න ද හෙට?

කළින් නම් හැම දාම ඇන්දා
බොහොම වැදගත්කමට තිබුණා
හෙට ත් අඳිමු ද?

පාසලේ නො ව හන්දියේ වූ
අසම්මතයේ පන්තියේ දී
සහෝදරයින් සමග ඇන්දා
මුලින් රතු කමිසේ…

සරසවියට ත් පැමිණිලා
නිළවරණෙට ත් පිවිසිලා
නිදා ගත්තෙත්
කෑවෙ බිව්වෙත්
සමග රතු කමිසේ…

සරසවියේ දී සංගමේ
මග තොටේ උද්ඝෝෂණේ
පෙරහරේ දිග මැයි දිනේ
නො හැර මා හා
සිටිය රතු කමිසේ…

අඳින්න ද හෙට?

රැළක් සමඟින් විසි වෙලා
විරැකියාවෙන් මිරිකිලා
වෛරයෙන් කෑ ගැසූ විට දී
නැගුණ දහදිය
මං හිතන්නේ වේලිලා

රැළටවත් සමු නොදී රහසේ
මහ රැයේ අබිනික්මණින් පසු
තනි ව බුදු වන
පුද්ගලික ආයතනයේ
හෙට යි සම්මුඛ පරික්ෂණේ

රතු කමිසය
අඳින්න ද හෙට?

5/3/11

රජ කතාවක්

සිතේ අනුලාවන්
සොයතිය විශාකාවන්
කලකට පසු ඉතින්
යශෝදර හැර කරති නික්මන්

මහරජු එතැන් සිට
රැය නෙක ලෙනෙහි ගත කොට
ගෙන දරු බර කරට
සෝමාව බැස ඇතේ පාරට

4/30/11

මාළුවාගේ ජිවන චක්‍රය

[කතන්දරගේ චිකන් පාටියට මගෙන් මාළු දීසියක්]

කඩවල ඉන්න මාළුන් රසකර උයලා
එතනට එන්නේ සීතල පෙට්ටි
යෙ ඉඳලා
ඒකත් ට්‍රෝලරේ හොඳටම කල් මරලා
ජිවිතයට වඩා ඌ ඉන්නේ මැරිලා

එතනින් නොනැවතේ දිවි චක්කරය උගේ
ඔක්කොම මාළු නොම විකිනෙයි දවස අගේ
එම ඉයු මාළු බැදලා ලැමිනේට් වගේ
හෙට හා අනිද්දා කඩ බක්කියට නැගේ

ඔක්කොම එකතු කල විට එක එක මාළු
පරපුරු ගණන් එක කඩයක විකිණේ ලු
මුහුදේ ඉන්න කාලෙදී නොම හමු වේලු
බක්කියෙ ෆැමිලි ගෙට් ටුගෙදර සැමරේ ලු   

4/18/11

අහඹු සිතුවමක් [DJPට ලියු පිළිතුරක්]

දැන දැන ම නුවූවත්
අප අඳින සිතුවමක්
ඉතුරු වනු ඇත දිනෙක

එහෙත් එය අඳින්නේ
වෙන ම තිරයක නොවේ
එහි අඳින වර්ණ හැඩ
අපට රිසි ලෙස නොයේ

නෙක වර්ණ පැටලවූ
කැමෆ්ලාජ් හැඩි බිමක
අහු වෙච්ච පාටකින්
අහඹු ලෙස කලබලෙන්
රිසි නොරිසි බව නොදැන

සිතුවමක් අඳිනු ඇත

ජීවිතේ පිණි බිඳට
හිරු ගින්න එන්න පෙර

4/8/11

ජීවිතය [නැවත පළ කිරීමක්‌]

[හරියටම වසරකට පෙර පළ කළ එක් කවියක්
කවිය නොවෙනස් ව ගෙවී ගිය හිස් වසරක්]

ගෙවෙන තරමට තවත් අලුත් වන
අලුත් වන තරමට ම රස පිරෙන
පිරෙන තරමට හිතෙන් තලු මරන
තලු මරනවා විනා
රස විඳින්නට ඉඩක් නොම ලැබෙන
අනාගත සැළසුම්කරණයකි නො නවතින

3/21/11

දේවාලය

සුවිසල්  නුගරුකට
බැඳුනු බිත්තිය ඉරිතලා ගොස්

කළු අඟුරු වේලිච්ච පහනේ
රේන්ද ගොතනා මකුළුවන්
තිරපට දිරාපත්
මළ කෑ කූරු දොර මත
වැනි වැනි මන්ද මාරුතයේ

සියවසකට කලින්

ගං තුලානේ වැස්සන්
හිත් ගිනි නිවන්නට
වයිර පිරිමහ ගන්නට
දිව එන සුරබිදෙන

මහතුන් නිති පැමිණ

දොවා රුක්මුල කිරියෙන්
පලතුරු සුවඳ දුම්
නිතර කල පුද පූජා

ගොම්මන් කලුවරට

නුග රුක කරා වඩිනා
ගම්මුන් නිතර දුටු
කොහිද ඒ දේවතා එලි දැන්

කාලයෙ මායාව
නොකලද මනස ධනවත්
දෙපයින් නැගූ මග
යන්ට උන්හට තිබේ බස් රිය
හාස්කම් මායා
ඉන්ද්‍රජාලික විස්කම්
හඬගා කියන්නට
ඇතේ උන්හට විදුලි අඬබෙර

පිරිවර අහිමි වී

වල් වැදී ගිය පුදබිම
පූසාරිටත් අමතක

කාලයේ ඔච්චම
මැදහත්ව ඉවසා වදාරන
එතුමෝ තිරය පිටුපස
අඩවන් වූ නෙතින්
හිස් අහස දෙස බලමින්

මහමග යන නොයන

මහා බලගතු ඇත්තෙක්
කවදා හෝ දිනෙක
දැනී යටගිය අනුහස්
කර යලි පිළිසකර
ගෙනෙන තුරු මහ පිරිවර

අඩවන් වූ නෙතින්

තනිව යදිනා දෙවිඳුන්

3/10/11

මාර්තු අට

හෙලු කඳුළු එකතු කලොත්
මහ මුහුදත් ගොඩට ගලයි
විඳින දුකට නින්දාවට
මහ පොළොවත් කම්පා වෙයි

හැම දා හැම දේ විඳ ගෙන

උන්නු එකට වන්දි ලෙසට
එක දවසක් සමරන්නට
මහ අයිතිය නුඹට හිමියි
 

කිසා ගෝතමීල එක්ක
පටාචාර වැලපෙන කොට
මහවාසල බිසෝ උන්දැ
පාර දිගේ උද්ඝෝෂණ

දියවු අපට අපේ රයිට්ස්


එක දවසක් කෑ ගැහුවම

අවුරුද්දම බඩ පිරෙයිද?

2/14/11

පෙම්වතුන්ගේ දිනය

ලියන්නට නම් නැත කිසිත්
කියව කියවා සිටිති පිස්සෝ
කල හැකි බොහෝ දේ
සිතන්නට ඇත ඊට වැඩියෙන්

2/13/11

නරුම හුළං

[2011 ලා නිනා දුරුත්තේ දී]

හීන් හුළඟ කිති කවනා
සීත දුරුත්තේ ඉම පැන
අගාධයෙන් මතු වී එන
කීරි ගැහෙන නරුම හුළං

සීතලයට යටින් ඇවිත්
කණට ඔබන යවුල් රහස්

අතීතයෙන් පණිවුඩයක්


එදා වේල සරු කරන්න

සැප විඳින්න
තලු මරන්න
අනාගතය උකස්‌ කරපු
මිනිස්සුනේ අහපල්ලා

පොලිය සමග වන්දි ගෙවන

කාලය ඇවිදින්

හුරතලේට කවි ලියාපු
පෙම්වතුන්ට හිත් හදාපු
හීන් දුරුතු හුළඟ නොවේ

ලේ වන්දිය ඉල්ලන් එන

ගොරම් බිරම් උසාවියේ
යම පල්ලන් අපි

සීතලයට වෙලි ගියත්
ගිනි ගතයුතු තොපේ ඔලුව
මේ හුළඟට

1/31/11

නිල්

වැසූ දෑසින් බලන
බැලූ දෑතින් වසන
බලා හොඳටම බණින

සංස්කෘතික පෙරහන් කඩ

උඩ පැත්තේ බොර නිල් කුඩු
හොර හොරෙන් උන් උන් ම රස විඳින

1/3/11

අංගුළිමාල - නැවත පළකිරීමක්

[සින්ඩිගත වන්නට පෙර 15/03/2010 දින මෙහි ම පළකළ කවියකි]

උදේ ඉඳන් දාන වෙට්ටු
කොච්චරවත් නෑ නෙ මට්ටු

හෝන් ලයිට් ඇහි පිල්ලම්

පාර දිගේ හොඳ සෙල්ලම්


පාර පනින පොඩි එවුන් ට

ආච්චිල ට සීයලා ට

බල්ලො පූසො කොයි කාටත්

බුදු සරණයි දෙවි පිහිටයි


ලීසිං මුදලාලි දුන්න

ඇඟිළි මාල ඉලක්කයට

එකතු කරන
ටිකට් කෑළි

අංගුළිමාලයා වගේ

කොච්චර හයියෙන් දිව්වත්

නුඹ තවමත් එක තැනම යි