12/28/10

කළු පාට මතක රළ

සිතුවිලේ යටි පතුළ බිඳ ගෙන
කළු පාට මඩ සමග කළතා
දෙසැම්බර් සීතළත් කැටිකර
පෙරළගෙන එන මතක රළපෙළ

ඉකි ගහන සැමරුම්
මීට කළින් දැන නොහිටිය
එදා ම හඳුනා ගත්

මතක පෙතින් කවදාවත් 
මිය යන් නැති
මළ මිනිසුන්


හැමදාමත් හිත හඬවන
සත්‍ය දසුන් පෙළ ගැස් වූ
චිත්‍රපටිය


දෙදහස් හතර අග මා
ශාපලත්
දේශයක හුන් කරුමය
ආනන්තරීයද?

12/23/10

සළු පාළිය

අතුරු මිතුරු
දඹදිවතුරු
රෙදි විකුණන  හෙට්ටියෝ

අළුත ගෙනා
මෝස්තරෙන්
රෙදි මිට මිට කපාලා
ගල් මිටියක් ඔතාලා
ලණු පැදුරක් වියාලා

ඉහළ ගෙටයි
පහළ ගෙටයි
මුළු ගමටයි කියාලා
මග දිගටම පිරීලා
මිනිස් ගඟක් ගලා ලා
ජරමරයක් හැදීලා

නෝනගෙ හැඩටම අන්දන

වෙළඳ කෙල්ලො නැළවිල්ලේ
හොර කෙල්ලන් ද
ගස්සන
කංකාණිය දොර මුල්ලේ
සල්ලි ගෙවන කූඩුව ළඟ
මහ පෝළිම එක එල්ලේ

හරි ම ස්වීට්

ෆිට්ස් ෆො යූ
මේක ගෝඩි
මෙන්න ෆැෂන්
වට්ට ක්‍රව්ඩ්
ඕ මයි ගෝඩ්
මෙන්න මේක
ගන්න ගන්න
එහෙන් ගිහින්
මෙහෙන් ගිහින්
වට්ට ක්‍රේසි
කන්ට්‍රි මේක
ඔක්කොමලා
එන්නෙ ඉතින්
අපි ආවොත්
මෑඩ් මෙයා

අවුරුද්දක් කන්න ගිහින්

අවුරුද්ද ම ඉවර කරන්
ගෙදර යමන් සෙට්ටියෝ

12/21/10

හිර ගෙදර නිවාඩුව

කඩදහිය ලිප දමා
ඉන් රැවුල අවුළුවා
එහෙ දුවන මෙහෙ දුවන
හිර ගෙදර ඉසුඹුවක

සරන්නට හැක යළිත්
නිදහසේ නිල් අහස

සිරගත ව මා ගෙවූ
සති ගණන පුරාවට
ඇය හුනිය තනිකමින්
මා සොයා හඬ හඬා

දේ දුන්න මවන්නට
දිය ඇල්ල අඳින්නට
කතන්දර ගොතන්නට
කවුද හිටියේ නුඹට

පොදි ගැහුණු සෙනෙහසට
පොළියක් ද එකතු වී
නිදහසේ සුව මිහිර
මා සමග බෙදා ගෙන
මා ගතේ වෙළී ගෙන
ඇය විඳියි අමා සුව

ඇගෙ පුංචි සිනහවෙන්
තොඳොල් බස් මිහිරකින්
පිරී යන සෙනෙහසින්
මගේ හිත ඉකි බිඳියි

සදහට ම නොවේ මා
නිදහස් ව පැමිණියේ

පුංචි දෝණියේ මෙය
හිර ගෙදර නිවාඩුව
යා යුතුය එය නිමව

11/7/10

සොරෙකු මෙන්

සීරුවෙන් මහ දොර විවර කර
සීරුවෙන් යළි වසා තද කර
සොරෙකු මෙන් හෝදිසි ඇහින්
හෙමි හෙමින් බිමටත් හොරෙන්
පිටව යමි මම නිවහනින්

මගේ තුරුළේ ගැලී ඉන්නට

සිනහසෙන්නට නළවගන්නට
මගේ දිවි සටහනේ කොටු කළ
ඇගේ පංගුව බේර ගන්නට
පොඩිත්තිය හරි සෙවිල්ලෙන්


11/3/10

සිසු පැණය

කළු මාමගෙ රතු ගොනා
වත්ත පහළ පෙරළනා
නිල් මාමගෙ කොළ ගොනා
ඒක අහල දඟලනා
 

කඹේ කඩන් රතු ගොනා
උගෙම වත්ත වනසනා
නොමිළේ දුන් තණ මනා
සී සී කඩ විසි වෙනා
 

ගොන් දෙන්නා ළං වුණා
අං හරියට ගැලපුණා
අහස පොළව දෙදරනා
අං පොරයක පැටළුනා
 

ඇන්න පාර කොළ ගොනා
තණ ගෝනිය විසි වුණා
ගජ බල්ලන් කටු කනා
මිටිය මිටිය විකුණනා
 

මිළ කෙරුව ද කොපමණා
දුන්නත් නොමිළේ මෙනා 
තණ නම් විය යුතු මනා
එයමයි නොම සිදු වෙනා

ගජ බල්ලන් රජ වුනා
තණපත් ටික වැහැරුනා
ගිනි ගණනට විකිණෙනා
ඉපලට මිළ කියවුණා

10/8/10

ආදරය

[හෂිත ගේ මූණු පොත් කවියකට පිළිතුරක්]

චාටුවට අහු වුණ
ලාටුවට රැවටුන

කෝඩු සිත්වල 

හී ගඩු මල් පිපෙන
චපල කමකට 

ඇලිමනි දඩ ගෙවන
චංචල නිසංසල සුන්දර කඳුළු ගඟ
නිරාමිස රාගයේ පිවිතුරු වංචාව

යක් ගණයට ලියා
මිනිසත්කම ගයන
දෙවියන්ගේ ස්වරය


හැම දා නොවෙනස් ව දළු ලයි ආදරය


යුනිකෝඩ් අකුරින්
ෆේස්බුක් පිටුවල ද

හොර පෑනෙන් ලියා පොත් අස්සේ දැමූ
මළ බසකින් ගෙතූ මතකය පොදි බැඳන්
අපි වයසට ගොහින්

9/28/10

අහස් ගව්වේ හද ගැස්ම

[අහස් ගව්ව ලියන තරංගා සුන්දර මතක පිරිමදින මෙන්න මේ සටහනත්, එහි මිහිරි රස ආයිත් තොළගාන මේ සටහනත් වෙනුවෙන් මේක. වීසා නැති ව අප එහි රැගෙන ගිය ඇයට ස්තුතිය]

හිරුටත් නොපෙනෙන
සීතල කඳු අතරේ
සිත ඇඳි සිත්තම්
මිහිරි මතක විසිරේ

ජීවිතයේ මුදු පහස හැඳිනුවෙමි
මුදු පින්නේ
නළ රැල්ලේ
සිහිළ විඳ ගතිමි
ජීවිතයත් ආදරයත් හමු වී
අමා සුව ලදිමි
නන්නාඳුනනා නුවරක තනිවී
නන්නාඳුනනා හොඳම යහළුවන් සමගින්

විසිරුණ මල් සුවඳේ
පාවී ගිය හැටි
කවුරුත් නොදුටුව සුමුදු මං පෙතක
රහසේ තොළ ගෑ මිහිරි මී බිඳක
සුළඟේ මිමිණූ පුංචි විහිළුවක
තවමත් මතකයි
ආයිත් යන්නැති
අමර නිරාමිස සිහින නිම්නයක
හැබැවින් මා සිටියා

9/27/10

සිත්තරාවී

තවම නුහුරු පියරු අතින්
මහ යගදා පන්හිඳකින්

සෝඩි ටිකිරි මිහිරි සිනා
සිහින මතක බිඳක අනා

ප්‍රාර්ථනා මල් සිතුවම්
අඳින්නෙ ඈ අපේ හිතේ

9/23/10

වාසු ලා ගිහින්...

[වාසු සහෝදරයා අන්කල් 18 ට අත උස්සපු දා හද පැලී මියයන්නට ගිය සමාජවාදී සහෝදර පිරිසක් ගැන ඇති වු සංවේගයෙන් ලියූ වග නම්...]

විරුවෙකු කියූ විරු වංසය සූකරයා
දෙවියෙකු නොවෙයි වාසුත් ඌ කර ඇරියා
දෑ කැති මිටිය වන වන දෙදෙනෙක් හිටියා
කැපුන ම ගළපු ලේ ඇත්තට රතු ද මෙයා

ඊටත් කළින් තව තව නම් බොහෝ ඇති
ලේ රහ වෙන්න සබයේ උන් දෙසුම් දෙති
ඒ රහ බලන්නට සමහරු ගිනි බිඳති
ඒ ගිනි වලට නොමිලේ උන් තෙල් බෙදති

එක පොත කපා පත දහයක් පෙරූ කලේ
නෙක නෙක වාද බිහිවී යන මග පැටළේ
රැක ගන්නට කොටින් දිවියන් ගෙන් නො කලේ
බක බක මැඩි පිරෙයි මොර දෙන නෙළුම් කොලේ

පොත නම් ගින්දරයි දෙසුමත් පිවිතුරු ය
හිත වැටෙනවා භක්තිය හද ඔද වැඩිය
අත එසවීම කට කියුමට පටහැණි ය
හිතවත් ගුරු තුමණි මට වාවනු බැරිය

හැමදා උඹේ හදවත පිරි සෙනෙහෙ හිත
හරවා කරන මඩ කුඹුරකි "සොයුරු කෙත"
රැවටී උන් කියන පදයට නටපු කැත
කවදා වැටහෙයි ද කියලා දන්නෙ නැත

9/22/10

ගඟ පහළට ගලන්

බොර දිය පිරී
හිතුවක්කාර ජීවිත නිම්නයේ
නැමි නැමි
පෙණ නගා
පහළට ගලන ගඟ


දුක සැප දෙක අතර

දිය මට්ටම නැඟ බසින
විටෙකදි ඉඩෝරය
යළි මහ වැසි වැටී
දෝරේ ගලන
මහ ගං වතුර


අතොරක් නැති ව
පූදින නව සිහින
බිඳිලා වාෂ්ප ව
ගිනි හිරු රැසින් 


කාටත් නොපෙනෙන මුල්ලක
රඳවා පල් වුණු කුණු රොඩු
යළි යළිත් පිරි පහදු වී
දකින තුරු මහ සාගරය

මා ද ඇදගෙන
ගඟ ගලන් පහළට


කවදා හෝ දිනක
සයුරට වැටුණු පසු
මතකයක් පමණක් ම වනු ඇත
ආ ගිය කතා කළ සිනාවක 

8/11/10

ගිරිතලේ වැව ළඟ...

අතීතේ ඉපදී
දෑස් අහියස බිඳී විසිරෙන
රිදී දියරළ සිනා සළනා යශෝ රාවය

හාත්පස ගිනි ගහන දුහුවිලි

දැවෙන අද දින
නිවා සන

මහරු තුරු හිස්
දහස් වස් කල්
යෙහෙන් වැජඹුන
සුරන් දෑතින්
එදා හිටවුණ

තුමුල කඳු හිස් පරයමින් නැඟි
විසල් වැව් බැමි
ජව බලය රැඳි මිනිස් යුගයක
පිය ලකුණු මත

මෙදා ඒ මත කොණෙක ඇටවූ
කුඩා පැල්පත්
යාන්තම් පණ ගැට ගහන් යන
වර්තමානය

වරද කොහි විද

අතරමං වී වැව් තෙරේ
නොමැත හසරක්
අතීතය ගොඩ නැඟූ මං පෙත්
මැකී වල් බිහි වී ගොහින්

6/16/10

නැව් බඳ මත

හිරු මියගිය පාළු අහස
අඳුරු වළා මළානික ව ඔහේ ඇදෙන
කිරි පෙණ පිඬු හැපී බිඳෙන

අග මුල නැති රටා මවන

සීත සුළඟ කීරි ගැහෙන
වියරු වෙසින රාව නඟන
දෑස තෙමන
සිත කළඹන


මූදු ලිහිණි
අතරමං ව මග විමසන


සමුදුන් දුර පුරවරයේ
විදුලි රටා තරු මල්කැට
සිතිජ ඉමෙන් මැකී නිවෙන

මෑත නුහුරු දළ රළ පෙළ
ගණ කළුවර
ඉම නොපෙනෙන


මහ මුහුදේ
ගත විතරක් ඔහෙ පාවෙන
සිත පියඹා මතක දිගේ
දුර ඈතක තනිකර ආ
ආදරයේ සොඳුරු සෙවන
පෙම් සෙනසුන

බිළිඳු සිනා මතක දැහැන

රළු සමුදුර
සැඩ නලරළ
ගණ කළුවර
මතක දැහැන

පෙළ ගස්වන
කවි වියමන

5/7/10

අමතක නොකරන්න

ගිනි ගත් බිම් කඩක
සිර වුනු හද ගැස්ම
මරණයෙ කලුවරින්
නිදහස් කර ගන්න


ජීවිත පුද දුන්න
මිනිසුන් ගේ ලෙයින්
ලියැවුනු මාසයක
උණුසුම් හෝරාව
සිහිවන දින ළඟයි

අමතක නොකරන්න

මේ හැම මොහොතක ම
සුළඟේ හමා ඒ
දිවි දුන් විරුවෙකුගෙ
අවසන් හුස්ම පොද
යළි නින්නාද දෙයි
උන්ගේ විරු කෙරුම්

අසරණ පොඩි එවුන්

වියපත් මහල්ලන්
කර මත තබාගෙන
වෙඩි වරුසා මැදින්

කීයක් මියැදුනි ද?

කීයක් එකතැන් ද?
රකිනට ගොස් අනුන්

ජරපත් අදහසින්

මැස්සන් ඉහඳ ලූ
මිනිසුන් කියාගත්
ඇතමුන් ගැරහුවත්

හෙට දින යළි පිපෙන

දහසක් මල් කැකුළු
පතුරයි දස අතේ
උන්ගෙ ජීවන සුවඳ
නමින් මනුසත් කමේ

4/29/10

පා වෙලා

පාර දිගේ
ලයිට් කණු උඩින්
සරුංගලයක් වාගේ
හීන් හුළඟේ දැවටී
පා වෙලා
යනවා මා නිදැල්ලේ

නපුරු උඩු හුළඟට බයේ
පුංචි රැළි සඟවා
දඟකාර නැළවිල්ලක්
හිතුවක්කාර විදිහට
පා වෙලා
යනවා මා නිදැල්ලේ

සොඳුරු විශ්මිත ලෝකයේ
නොදුටු  නිම්හිම් සොයා
ප්‍රීතියෙන් මුසපත් වී
ගවේශකයෙකු වාගේ
පා වෙලා
යනවා මා නිදැල්ලේ

වියපත් ව ගොරහැඬි ව ගිය මුත්
සදා නො මියෙන මතක මං පෙත්
සිහින
ලෝකේ හිරු කිරණ වැද
බලන් දිස්නය දෙන අපූරුව

පා වෙලා
යනවා මා නිදැල්ලේ
සරුංගලයක් වාගේ
හීන් හුළඟේ දැවටී

4/9/10

ජීවිතය

ගෙවෙන තරමට තවත් අලුත් වන
අලුත් වන තරමට ම රස පිරෙන
පිරෙන තරමට හිතෙන් තලු මරන
තලු මරනවා විනා
රස විඳින්නට ඉඩක් නොම ලැබෙන
අනාගත සැළසුම්කරණයකි නො නවතින

3/24/10

MBC පහර දීම

කුණු ගඳ බල්ලෝ දෙ දෙනෙක් පොර කති
සද්දෙන් ගොරවති
මළ පහ වපුරති
හාරා බිම පස් ඈත විසි කරති

කුණු පස් අහුලා බලු ගූ සමගින්
නිකමුන් ඔරවති නියවති ගරහති
නැහැනෙ මේ රටේ මාධ්ය නිදහස
මර්දනයයි මේ
හරක් වගේ ඔහෙ
අදහස් පවසන අයිතිවාසිකම හොරෙන් අරන්

3/15/10

අංගුළිමාල

උදේ ඉඳන් දාන වෙට්ටු
කොච්චරවත් නෑ නෙ මට්ටු
හෝන් ලයිට් ඇහි පිල්ලම්
පාර දිගේ හොඳ සෙල්ලම්


පාර පනින පොඩි එවුන් ට
ආච්චිල ට සීයලා ට
බල්ලො පූසො කොයි කාටත්
බුදු සරණයි දෙවි පිහිටයි


ලීසිං මුදලාලි දුන්න
ඇඟිළි මාල ඉලක්කයට
එකතු කරන ටිකට් කෑළි 


අංගුළිමාලයා වගේ
කොච්චර හයියෙන් දිව්වත්
නුඹ තවමත් එක තැනම යි