5/31/11

කුවේණිය

[ධනුෂ්කා නිශාදී සොයුරියගේ කවියකට ලියූ පිළිතුරක්]

කුවේණිය
සට කපට කම් ගුප්ත විද්‍යා
කොල්ලන් දැලෙහි ලන
ගෙනගොස් පොකුණ තුල ලන

කුවේණිය
දල ඇති යකින්නිය
ටිකෙන් ටික උන් ලේ බොන
උහු ද දැපනේ වැටී වැහැරෙන

කුවේණිය
බාහු යුවලක සිරවුණු
උතුඟු පෙනුමට වශී වන
රවටන්ට ගොස් රැවටෙන

කුවේණිය
සැඳෑ සිහිලේ නැළවෙන
වෙණ තතක මිහිරෙන
මුළු හිත පුරා පෙම් කරන

කුවේණිය
ඔහු නමින් යුදයට යන
ටජ් මහල මතු තනවන
පුද බිම ලෙයින් සෝදන

කුවේණිය
බෝ කලක සිට රැවටෙන
කුණු මුල්ලකට විසිවන
වෛරයෙන් ගිනි ගෙන
සාප ලන හිත ඇවිලෙන

කුවේණිය
මහ මග නිති සරණ
දරු බරින් වන අසරණ
උන් කුස පුරන්නට
ලේ මස් සිරුර දන් දෙන

කුවේණිය

සදාකල් නොමියෙන
මැරි මැරී යලි උපදින

5/14/11

ආර්ථිකේ ["අපි" කියන්නෙ]

නිදහස් යයි කියා ගත්ත
ආර්ථිකේ ගිනි එන්ජිම
තවම අඳුරු කාමරයේ

කවුළුව විතරයි විවෘත

එතනින් නිතරම හමන්නෙ
වටේ පිටේ කාණු දුගඳ
[හුළං හමන මග කියන්නෙ
හුළං මිසක් අපි නොවෙයිනෙ]

කාලයාගෙ දූෂණයට‍
දුම් කවුළුව වැහිල ගිහින්

කිරිං කිරිං ගගා දුවන
ගිනි එන්ජිම නගන දුමින්
කහින ගමන් "අපි" කියන්නෙ
වහමු කියල ජනේලයත්

5/11/11

රතු කමිසය [සින්ඩි ගත වන්නට පෙර මෙහි ම පළ කළ කවියක්]


[කවදාවත් නිමා නොවන රතු කමිසේ කතාව නැවත සිහිපත් කරන්නට සිදුව තිබේ] 

රතු කමිසය
අඳින්න ද හෙට?

කළින් නම් හැම දාම ඇන්දා
බොහොම වැදගත්කමට තිබුණා
හෙට ත් අඳිමු ද?

පාසලේ නො ව හන්දියේ වූ
අසම්මතයේ පන්තියේ දී
සහෝදරයින් සමග ඇන්දා
මුලින් රතු කමිසේ…

සරසවියට ත් පැමිණිලා
නිළවරණෙට ත් පිවිසිලා
නිදා ගත්තෙත්
කෑවෙ බිව්වෙත්
සමග රතු කමිසේ…

සරසවියේ දී සංගමේ
මග තොටේ උද්ඝෝෂණේ
පෙරහරේ දිග මැයි දිනේ
නො හැර මා හා
සිටිය රතු කමිසේ…

අඳින්න ද හෙට?

රැළක් සමඟින් විසි වෙලා
විරැකියාවෙන් මිරිකිලා
වෛරයෙන් කෑ ගැසූ විට දී
නැගුණ දහදිය
මං හිතන්නේ වේලිලා

රැළටවත් සමු නොදී රහසේ
මහ රැයේ අබිනික්මණින් පසු
තනි ව බුදු වන
පුද්ගලික ආයතනයේ
හෙට යි සම්මුඛ පරික්ෂණේ

රතු කමිසය
අඳින්න ද හෙට?

5/3/11

රජ කතාවක්

සිතේ අනුලාවන්
සොයතිය විශාකාවන්
කලකට පසු ඉතින්
යශෝදර හැර කරති නික්මන්

මහරජු එතැන් සිට
රැය නෙක ලෙනෙහි ගත කොට
ගෙන දරු බර කරට
සෝමාව බැස ඇතේ පාරට