6/16/10

නැව් බඳ මත

හිරු මියගිය පාළු අහස
අඳුරු වළා මළානික ව ඔහේ ඇදෙන
කිරි පෙණ පිඬු හැපී බිඳෙන

අග මුල නැති රටා මවන

සීත සුළඟ කීරි ගැහෙන
වියරු වෙසින් රාව නඟන
දෑස තෙමන
සිත කළඹන


මූදු ලිහිණි
අතරමං ව මග විමසන


සමුදුන් දුර පුරවරයේ
විදුලි රටා තරු මල්කැට
සිතිජ ඉමෙන් මැකී නිවෙන

මෑත නුහුරු දළ රළ පෙළ
ගණ කළුවර
ඉම නොපෙනෙන


මහ මුහුදේ
ගත විතරක් ඔහෙ පාවෙන
සිත පියඹා මතක දිගේ
දුර ඈතක තනිකර ආ
ආදරයේ සොඳුරු සෙවන
පෙම් සෙනසුන

බිළිඳු සිනා මතක දැහැන

රළු සමුදුර
සැඩ නලරළ
ගණ කළුවර
මතක දැහැන

පෙළ ගස්වන
කවි වියමන

6 comments:

  1. ෂා.. මරුනේ.. කාලෙකින් නෙට් එකේ මෙහෙම පද වැලක් දැක්කේ...

    සීත සුළඟ කීරි ගැහෙන
    වියරු වෙසින් රාව නඟන
    දෑස තෙමන
    සිත කළඹන

    මූදු ලිහිණි
    අතරමං ව මග විමසන
    .. මට මේ ටික කියවද්දි නාට්‍යයක සිංදු තාලයක් මතක් වුණා.. දිගටම ලියන්න. අපිට කියවන්නත් යමක් තියෙන්න එපැයි. සිංහල බ්ලොග්කරුවන් අතරට සාදර පිළිගැනුම්

    පලි- අනේ මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරනවානම් ලොකු දෙයක්. ඒක එද්දි කමෙන්ට් කරන්න කම්මැලි හිතෙනවා!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි සු.

    වචනය හරිද බලන එක [වදන් පිරික්සුම :)] වැරදිලා දාලා තිබ්බේ. වහා ම ඉවත් කලා.

    ReplyDelete
  3. තනිකම පාළුව ඉහවහා ගිහින් වගෙ. පදවැල ලස්සනයි. හිතට සමීප අය ළඟ සිටියා නම් පදවැල වෙනස් විදියකට ලියැවෙයි ද?!!!

    ReplyDelete
  4. @අරුණි;

    එහෙම වුනා නම් ලියන්න වෙලාවක් තියෙන එකක් වත් නැහැ. :)

    අපි ගියේ වෙනත් රටක ඉන්න ලංකාවේ මිතුරෙකුගේ ගෙදර. එයාගේ පොඩි දුවගෙන් මගේ මතකය අවදි වෙලා හිතෙන් ලංකාවට ගිහින් හිටියේ. එතනින් ඇවිත් මහා මුහුදේ අන්ධකාරය [නැවට පිටින්] එක්ක එකතු වෙන කොට, හිත පුරෝලා ගියා මහා කලුපාට හැඟීමකින්. පාළුව තනිකම, ගුප්ත බව, කලුවරට ඇති බයත් [පුංචි කාලෙන් එන හැඟීමක්නෙ] එකතු වෙලා ඇතුලත තරු පහේ ලෝකය නොපෙනී මට එළියේ ඇද අන්ධකාරේ ඇඳෙන පෙන පිඬු රටා විතරයි පෙනෙන්න ගත්තෙ. අතේ තිබ්බ කොළ කෑල්ලක [කවුරු හරි දීපු ප්‍රචාරක කොළ කැබැල්ලක්] මං ඕක ලිව්වේ විශාල විදුරු කවුළුවක් අයිනේ දිග බැංකුවක ඉඳං.

    හැරිලා බැලුවම තනිකම කලාත්මකයි. ඒත් විඳින කොට දරා ගන්න අමාරුයි.

    අරුණිගේ සටහනෙන් මගේ travel writing කරන ආසාව තවත් වැඩි වුනා. මං බ්ලොග් ඒක පටන් අරන් හුඟ කලක්. මේ ට්‍රිප් ඒක ගැන ම සෑහෙන්න ලියන්න නියමිතයි. ඒත් වෙලාවක් හා අසාවක් ආවේ නැහැ. මේ පාර එක්සෑම් ඉවර වුන ගමන වැඩේට බහින්න ඕනේ.

    ReplyDelete
  5. මේ කෙටි යෙදුම් හරිම ලස්සනයි. මට දැනෙන විදිහට කවිය කියන්නේ අඩුම වචන ගණනක් භාවිතා කරලා කියවන කෙනාට ලොකු කතන්දරයක් කියන එකට. ගායනා කරන්නට හැකි විදිහට මාත්‍රා දීමත්, සමාන ශබ්දවෙන වචනත් කවියක් වඩාත් අලංකාර කරනවා (අනේ මම technical terms දන්නේ නෑ) ඉතින් මට දැනෙන හැටියට මේ කවි පෙළ ඉතාම නිදහස් රටාවකින් ලොකු කතාවක් ලස්සනට කියනවා.

    ප ලි අර travel writing තවම ලියුවේ නැද්ද?

    ReplyDelete