7/7/13

බෝට්ටුව

වැලන්ටයින් විජේසිංහ
බෝට්ටුවේ ඇවිත් බැහැපු
මැරුණ නැති නිසා පණ ඇති
වැලන්ටයින් විජේසිංහ

ඔය කිව්වට
ලිය කියවිලි වලට දුන්නෙ
විජයාසිංහම් කියලයි

යුද ගින්නේ ගිනි කන්දෙන්
සුරුට්ටුවක්‌ පත්තු කරපු 

බෝට්ටුවේ කණ්ඩිය උඩ
බඩ ගින්නට ඒක බීපු

මූද දිගේ
එහෙන් මෙහෙන්

මුරකාවල්
මිස් කොරාන
වෙට්ටු දාල
පොට්ටු තියල
නමත් වෙනස්
ගමත් වෙනස්
ජාති දෙකයි
දෙකම එකයි

ලෙඩට දුකට බෙහෙතක් නැති
බඩට කිසිම අහරක් නැති
හිටන් ඉන්න ඉඩකඩ ඇති
මර උගුලේ

මැරිච්ච උන් මහ මුහුදට
තැලිච්ච උන් තව මුල්ලට

ගොඩබිමේදී මරා ගත්ත
ජාති දෙකම
බෝට්ටුවේ තහඩුව උඩ
කෝ තියේද වෙනම රටක්
දෙගොල්ලටම පය ගහන්න
තහඩු නවපු නිජ භුමිය

මහ අහසම කළු කරාන
වැහැපු වැස්ස යට තෙමෙන්න
ලුණු වතුරෙන් මුව දොවන්න
ජාති දෙකම එකට එන්න

ගේ දොර හෙම උකස්‌ කරල
ලස්ස ගණන් ඔට්ටු 
තියල
මන්දිරි දේවියට කියල
අමල් බිසෝ ගෙයින් තියල
වංක ගිරියෙ
කෙලින් පාරෙ
බෝට්ටුවේ
මූද දිගේ

වැලන්ටයින් විජේසිංහ
මැරුණ නැති නිසා ඇති පණ
ගොඩට ආ නිසා හිනැහෙන

ලොකු හිල් ඇති දැලෙන් ඇවිත්
ජීවත් වෙන්නට විදිහක්
හොයා දුවන
වැලන්ටයින් විජේසිංහ

අනේ මල්ලි
හැකිනම් මට හොයා දෙන්න
ක්ලීන් කරන්නත් පුළුවන්
බර උස්සන්නත් පුළුවන්

තියේද කොලිෆිකේෂමක්?

දාඩිය කරගැට නැගිච්ච දෑත තමා
මේසන් වැඩ කරපුවාට
කඩවල බඩු ඇදපුවාට
සහතික කොළ නැති වුනාට
මල් කර ගැට අත පුරාට

දාඩිය බිඳු හෙළු නමුත්
නැති හින්දා සලකන්නේ
උපන් බිමේ
නුහුරු බිමක නුහුරු බසක
නුහුරු වැඩක් හොයා දුවන

ඇති යන්තම් ඔයින් ගියා
ආපු විදිහ කොහොම වුනත්
අතීතයේ මොකක් කළත්
අලුත් රටට වැඩක් නැතේ

උඹට උරුම තැනක් තියෙන
දාඩිය බිඳු ගණන් කරන
එකින් එකට කුලිය ගෙවන

සාගතයෙන් ගොඩට එන්න
හෙට දවසක් ගොඩ නගන්න
මන්දිරි දේවියත් ඇන්න
ගෙයක් දොරක් තනා ගන්න

අමල් බිසෝ දීග දෙන්න
ජීවිතයෙන් පුද කරාපු
මල් සිහිනය එළි කරන්න

වැලන්ටයින් විජේසිංහ
ඉර පායයි අයියෙ උඹට

7 comments:

  1. ඊයේ රෑ දෙගොඩහරි ජාමේ හදිස්සියේ ලියු නිසා ඇද ගැහුණු තැන් කීපයක් කෙලින් කරන ලදී.

    ReplyDelete
  2. බෝට්ටු ජනතාව .. ඉන්දුනීසියාවට විසා ගන්න අමාරුයි. හේතුව එතනින් ඔස්ට්‍රේලියාවට පැනගන්න එන මිනිස්සු නිසා . එහෙ පත්තර වල මේ ගැන හුඟක් කතා වෙලා තියෙනවා දැක්ක

    ReplyDelete
    Replies
    1. ලංකාව හා වියට්නාමය සිද්ධි දෙකක් හැටියටයි මට හිතෙන්නේ.

      ලංකාවෙන් වර්ග දෙකක් එනවා. එකක් තමයි යුද්ධයේ ප්‍රතිපල: එනම් පරණ කොටි, හමුදාවේ වත්මන් ක්‍රියාකාරකම් නිසා පීඩා විඳින අය, යුද්ධයෙන් අනාත වෙලා ඉන්න හිටින්න තැනක නැති වුන අය එහෙම. අනික් වර්ගය තමා වැලන්ටයින් විජේසිංහ වගේ ඉකොනොමික්‌ රෙෆා ලා. එන්නේ මානව අයිතීන් ගැන කියලා උනාට යට තියෙන්නේ වෙනම සිද්ධියක්.

      එහෙත් වියට්නාමය සාපේක්ෂව පිරිසිඳු පාලනයක් තියෙන තරමක් හෝ සමෘද්ධිමත් රටක්. වියට්නාම් කාරයෝ මේ අවදානම ගන්නේ ඉතාම පැහැදිලි "පුද්ගල නිදහස නොමැතිකම" කියන හේතුව නිසා කියලයි මම හිතන්නේ.

      මොකා මොන හේතුවට ආවත් මේ එන ගමන මාරාන්තික සටනක්. මනුස්සයෙක් මෙහෙම දෙයක් ජොලියට කරන්නේ නැහැ. කරන හැම මනුස්සයටම මහා බරපතල හේතු ඇති.

      ළඟදීම මෙහෙන් ඔය දොර වහයි. ජුලියා ගෙදර යන්නත් ඔය සිද්ධිය බලපෑවා. මේ වසරේ විදේශාධාර වලින් සල්ලි ඉවත් කරලයි රෙෆා ලා නඩත්තු කරන්න හදන්නේ. ළඟදීම දවසක් එවි බෝට්ටු ජනතාව ආපහු ප්ලේන් එකේ පටවලා එවන. එහෙම නැතිනම් පී එන් ජී වල හිස් ප්‍රදේශයක පදිංචි කරන. පවු.

      Delete
    2. වියට්නාමයෙන් බෝට්ටුවලින් එනවද දන්නේ නැහැ සුජීව . යුද්ධෙන් පස්සේ නම් සයිගොන් වල අය පැන ගියාලු එහෙම . අද තත්වය දන්නේ නැහැ . මන් කිවේ ඉන්දුනීසියාව හරහා යන අනික් රටවල අය ගැන . ඉරාන ජාතිකයින් හෙම හුඟක් එනවලු

      Delete
  3. එන කට්ටියගෙන් 1/3 විතර ඉරාන. හැබැයි වියට්නාමෙනුත් සැහෙන්න එනවා. මේ වසරේ සමහර විට 1000 පනියි.

    මේ ලිපිය බලන්න

    වියට්නාමෙන් කට්ටිය එන්නේ ඇයි කියන ඒක වෙනම සලකන්න ඕනේ. මම හිතන්නේ එය මිනිසුන්ගේ නිදහස ගැන ගැටලුවක් කියා.

    ReplyDelete
  4. මම මේක වට්ස්ඇප් ගූරූප් එකකට share කරනවා.

    ReplyDelete