7/25/11

සුනිල් අයිය... දන්නෙ නැද්ද?


"හලෝ හලෝ කොහොමද'තින්...
උඹට මතක නැද්ද මාව?
කාලෙකින්නෙ කෝල් කළේ

හපොයි උඹල
හොහ් හොහ් හොහ්
දන්නෙ නැද්ද
සුනිල් අයිය
මම මතුගම"

"ඔව්වොව්වොව් මහ වත්තේ

බිස්නස් කළ
තැඹිලි තමයි
තැඹිලි තමයි"

"කොහොමද ඔය පැත්ත ඉතින්"

"නැහැනෙ මල්ලි විවේකයක්
අමත්තියන්සේ කටයුතු"

"ඔව්වොව්වොව් අපේ එතුම

ගත්තනෙ මං එයා ළඟට"
"ගණ සැරේට වැඩ නෙ මල්ලි
එතන වැඩයි චන්ද වැඩයි"


"ගිය චන්දෙද?
සතියක් මං එහේ උන්නෙ
මං ගැන නො
වැ විස්සාසේ
අදයි ඔන්න වැඩට යන්නෙ"

"නිවාඩුවත් නැතුව හිටියෙ
ඕටී හා බටා එක්ක
ඔව්වොව්වොව්
නැතුව නැතුව
හොහ් හොහ් හොහ් "

ඉදිරි අසුනෙ සැපට ඉඳං

දොඩමලු වන
සුනිල් අයිය
ඔහු මතුගම
දන්නෙ නැද්ද?

කට පුරෝල හිනා ගඟයි

පුරාජේරු ඉහට උඩින්
තඩි දම්වැල
රනින් තැනූ
දකුණු අතේ
දුර කතනම දෙකයි ඔන්න

සීට් එකේ කොනේ ඉන්න

නාඳුනනා නෑම්බියට
ඒ සී දුම් කවුළු දෙකම
වෙස්සන්තර වගේ පුදන

කොන්දොස්තර එක්ක නිතර

දොඩමලු වෙන
උගෙ බස් එක වගේ හිඳින
බස් එක හැප්පෙන්න ගියපු
ලොරියට සත්තමක් දමන

සුනිල් අයිය

ඔහු මතුගම
දන්නෙ නැද්ද?

කොකා වගේ සුද පිරෙන්න

අත් දිග කමිසයක් ඇඳල
කණ කොකා ගෙ කළු පේන්නෙ
අත දිග ඇරියම ද කොහෙද
තින්ත පාර
පාප්ප තලි
රෝම පිරුණු බාහු දෙකේ
ගිය සතියේ හැම රැයේම
කාපු කට්ට

"ඔව් ඔව් බන්

සම්බන්ධීකරණ කියන

මහත්තයගෙ ගාව තමයි 
හැබැයි මමයි වැඩ බලන්නෙ
එතන කෙරෙන ඕන වැඩක්
මං බැලුවොත් තමයි ඉතින්"

"වරෙන් වරෙන්

මං දෙන්නම් තිතට වැඩේ"

වැඩිම උනොත් කාරියාලෙ ලියුං බෙදන

ඒ වුනාට
ලේකම් ටත් උපදෙස් දෙන
සුනිල් අයිය
ඔහු මතුගම
දන්නෙ නැද්ද?

එතුමට පින නොපෑදෙන්ට

නම්බු  පිටින්
මහ වත්තේ තැඹිලි බාන
කරේ තියං මග විකුණන
සුනිල් අයිය
ඔහු මතුගම
දන්නෙ නැද්ද?

තව අවුරු
දු පහයි ඔන්‍න‍
කට්ට උඩින් දාපු මසට 
මල්මාලය ෆිට් උනාම
ජය වේවා
අපි දිනවමු
අපට හිතැති
රටට පෙමැති
සුනිල් මැතිඳු
ඔහු මතුගම

එදාටවත් දන්නෙ නැතෑ


19 comments:

  1. මරේ මරු.... තාල නම් 100 කට උනත් කියවගෙන ගියහැකි... එක හුස්මට....

    ReplyDelete
  2. අඩුපාඩුවක් නෑ මැවිලම පේනව, සුනිල් අය්යව...

    (හැබැයි අර,

    පැරදුනෙ මං - නැතිවුණෙ මං
    උඹලට නං - මොකද ඉතිං

    කියන සුනිල් අය්ය තමයි මට මැවිල පේන්නෙ, මතකද ඒ වීඩියෝ එක.)

    ReplyDelete
  3. දේශපාලන පත්වීමක් හින්දා ඇමති බලතලත් හිතට අරන්, 'එතුමාගෙ' සියලු කුණු අදිමින්, ගත හැකි සියල්ලත් අරන්, ගොට්ට අල්ලන හෙංචය්යෙක් තමයි මට මැවිලා පෙනුණෙ. :D මුල සිට දිගටම රැඳෙන රිද්මය හින්දාත්, වහරන බසින්ම ලියැවී පදවැලට මුසුවුණු දෙබස් ඛණ්ඩ නිසාත් කියවන්නට ආස හිතෙනවා.

    ReplyDelete
  4. යථාර්ථයම එය තමයි,කවදාමුත් අපිටත් සර් කියන්න වෙයි, සුනිල් අයියාට, නෑ නෑ sorry, එතුමාට...සුනිල් මැතිතුමාට.. හරිම අපූරු පද ගැළපුමක්.......

    ReplyDelete
  5. ඕක තමයි
    අපේ රටට
    වෙලාතියෙන
    සැබෑ වෙනස !

    ReplyDelete
  6. අනාගත ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක්.

    ReplyDelete
  7. සුනිල් අය්යව මැවිල පෙනුන...අපූරුය් පද වැල...

    ReplyDelete
  8. ඔව් ඔව් ඔව් ඔහොම තමයි
    හැමදාමත් ඔහොම තමයි
    නිල්පාටින් මල්ල අරන්
    කඩේ යනව ඒ පැත්තට
    පැරදුනාම කොළ මල්ලක්
    ආයි යනව මේ පැත්තට

    ReplyDelete
  9. ඔන්න නෙළුම් විල පැත්තෙන්ම ඇවිත් ගොඩ වුනා.

    පදපෙල උපරිමයි, චරිතය මැවිලා පේනවා.
    මීලඟ වතාවෙ පොස්ටර් වල "අධිනීතිඥ" කෑල්ලත් නම ඉස්සරහට වැටෙන්න පුලුවන්.

    ReplyDelete
  10. හැම දෙනාටම ස්තුතියි මේ පැත්තේ ආවාට සහ මතයක් පල කලාට. ආයිත් එන්න හොඳේ.

    @නදුන් උයන;

    ඔව් මාත් ලිව්වේ එක තාලෙකට හිතෙන් ගයමින්. ටිකක් බයිලාවට හුරු එකක්. මේක නාට්‍යයක් වගෙයි මගේ හිතේ තිබ්බේ.

    @චේජනා;

    මට හිතෙන්නේ සිඥඥෝරේ කාරය අයිති මීට පෙර පරපුරට කියලා. ඒ සන්දියේ දේශපාලනේට ආවේ එක්කෝ ලොකු පවුලක බුවෙක්, නැතිනම් ටිකක් ඉගෙන ගත්තු වෘත්තිකයෙක් කලාකාරයෙක් වගේ එකෙක්. ගම් මට්ටමේ ඉස්කෝලේ මහත්තුරු, විදානේ ලා වගේ අය. මුන් කරපු කෙහෙම්මලකුත් නැහැ. හැබැයි ඔන්න "පුරවැසි පාලනේ" ඇවිදින නේ දෙපතුල ගාවට. අද මතුගම සුනිල් අයිය වගේ අය තමයි "හෙට මේ රට කරවන්නේ". උදාහරණ දැනටමත් නොඅඩුව තියේ. ඔය හින්දනේ සින්දුවක් තියෙන්නේ "මගේ රටට දළදා හිමි සරණයි" කියලා. අද ඉන්න දේශපාලකයින් ගේ අඩුපාඩු ගැන හිතමින් ඉන්න අපිට පෙන්නේ නැහැ අපේ හෙට දවසේ එන්න ඉන්නේ මොන වගේ ඩයල් ද කියලා.

    @නලිනි චන්දිමා;

    මේකේ වැඩේ කියන්නේ මතුගම සුනිල් කියන විශේෂ මනුස්සයෙක් නෙවෙයි මේ පුද්ගලයා. නම් ගම් නැති ජෙනරික් කවිය අරන් බලන්න ඕන පැත්තක ඉන්නවා ෆිටිං කැරක්ටර්ස් හොන්ඩර ගානට. ඒ අපේ අනාගතයයි.

    ඔයා දැක්කද මාත්‍රා හයෙන් හෝ දොළහෙන් හැම පදයක් ම කැඩෙන බව. මෙව්වා සඳස් ද නැද්ද මං දන්නේ නැහැ [එළිසමය නම් කොහොමත් නැහැ]. හැබැයි රිද්මය එන්නේ ඔය මාත්‍රා හයෙන් හෝ දොළහෙන් කැඩෙන නිසා නේද? පුංචි එක්ස්පෙරිමන්ට් එකක් කලේ.

    බස් වහර සුනිල් අයියගේ නේ.

    විචාරයට ස්තුතියි.

    @ravinumal

    පුරවැසි පාලන යුගය නේ. එදා මිනිස්සු බැන්නේ වලව්කාරයෝ හින්දා පොඩි මිනිහ ගැන කාටවත් දැනෙන්නේ නැහැ කියලා. තව අවුරුදු 10 කින් බලය යන්නේ පොඩි මිනිහ අතට. වැඩේ තියෙන්නේ පොරවලගේ මොලත් පොඩි වීමයි. එදාට අපිට ඉස්සර කාලේ හොඳ වෙයි ද මන්දා. [හුටා මට කට්ටිය කියයි ද දන්නේ නැහැ ඒ පාර වලවූ වලට කත් අද්දා කියල]

    අපිට තාම පේන්නේ හැම පක්ෂෙම පැරණි දේශපාලන නායකයින්. උන් චාටර් තමයි. හැබැයි ඇහැ ඇරලා බැලුවොත් "පසුපෙළ ක්‍රීඩකයින්" දිහා පෙනෙයි හෙට අපිට වදින දේශපාලන සුනාමියේ තරම.

    @සරත් ලංකාප්‍රිය

    තවම වෙමින් තියෙන වෙනස
    තවම දැනිල නැතුව වගේ
    නියම හරිය

    @Observer

    චිත්‍රණය කරන්න මං උපරිම උත්සාහයක් ගත්තා. සතුටුයි. ස්තුතියි ඒ පින්තුරේ බැලුවට.

    @ඉන්දික උපශාන්ත

    එන්න එන්න කෘෂ වී යන
    මුදලාලිගෙ මොළ ගෙඩියයි
    ජනතාවගෙ බඩ ගෙඩියයි

    @ගල්මල්-Coral

    ලේසියෙන් ගන්න පුළුවන් ආචාර්ය පට්ටම් නේ. තව තියෙනවා "සාම විනිසුරු" වගේ එව්වා. මෙයා ඉන්නවා මගේ හිතෙත් හොඳ පැහැදිලි පින්තුරයක් හැටියට. ගමේ රටේ මෙයාගේ ක්ලෝන දහස් ගණනක්.

    ආවාට ස්තුතියි. නොමිලේ මේකට ඇඩ් එකක් දෙන උස බිල්ඩින් ටික: බින්දී, කතන්දර, නලිනි, චේජනා ඇතුළු හැමෝටම ස්තුතියි.

    ReplyDelete
  11. මේ කවිය කියවද්දි මගේ හිතේ එක දිගටම ඇඳුනෙ මහගම සේකරයන්ගෙ 'බෝඩිම' යි. මොකද එහි තියෙන කවිවල ආකෘතියත් මේ වගේමයි මට දැ‍ණුනෙ ඒ කාලෙ කියවද්දි. කොහොම වුණත් මේ ලියවෙන ආකෘතිය හරිම ප්‍රබලව කෙනෙක්ට දැනෙනව.(ඇත්තටම කවි ගැන විචාර වලට එන්න තරම් දැනීමක්නම් නෑ. කාව්‍ය හැකියාවකුත් නෑ. ඒත් හිතට දැනෙන දේයි කිව්වෙ)

    කවියේ ඉන්න සුනිල් ඇත්තටම සමාජ සංඛේතයක් විතරයි. ඒ සුනිල් යම් සමාජ ස්ථරයක්ම නියෝජනය කරනව. ඒ ස්ථරයේ භූමිකාව කෙබඳුද කියන එක සිහියෙන් ඉන්න මේ රටේ කවුරුත් දන්නව.

    ReplyDelete
  12. @``` Outsider``` බොහොමත්ම ස්තුතියි මේ පැත්තේ ආවාට.

    මාත් සේකරගේ කවි කියෝලා තියෙන නිසා කොපි වීමක් වුනාද දන්නෙත් නැහැ. ලඟදි නම් කියෙව්වේ නැහැ. බෝඩිමේ කවියක් වත් හිතට එන්නේ නැහැ.

    සමහර අයිකොනික් චරිතවල නමයි විස්තරයයි ලිව්වම ඇති. දැවැන්ත දාර්ශනික දෙයක් ඔවුන් නිහඬවම හෙළි කරනවා. මේ මා හිතන විදිහට අද ඉන්න පොලිටික්කන් විශ්‍රාම ගියාම එන්න ඉන්න කට්ටිය තමයි.

    ReplyDelete
  13. හරි හරි අර සුනිල් අය්ය

    දැන් මතකයි

    අපොයි ඉතින් හරි හොඳ නේ

    මනුස්සයට හරි ගිය එක

    ...සුනිල් අය්ය විතරක් යයි

    උපාදි තුන හතරක් ඇති

    මහා ඇදුරොත් ඔහොම නේද

    එක වාගේම කඩේ යන්නේ

    හැමදාමත් තැඹිලි කරත්තේ දක්කන්

    යන්න ඇහැක..

    සුනිල්ලටත් ආස නැද්ද

    සල්ලි ටිකක් හම්බ කරන්

    ගෙයක් දොරක් වාහනයක්

    ඒ විතරද ..

    මතු උපදින පරපුරටත්

    හම්බ කරලා මැරිලා යන්න ..

    කොහොම වුනත් ඕක ඒකයි

    අනික් අතට එක වලක ම බැහැල ඉඳල

    හරි යනවද ..ගෙම්බො වගේ

    ඒ පැත්තට මේ පැත්තට

    කල දුටු කල පැනගන්නට

    නොදත් එකා අමාරුවේ.

    නුඹ නාඩන් සුනිල් අය්යෙ

    තව පලයන් ඉස්සරහට

    අවුලක් නැහැ ..

    සුජිවලා ඉරිසියාවෙ කවි ලිව්වට

    උඹට ඕව තේරෙනවය

    ReplyDelete
  14. @බින්දි;

    අපොයි අපට ඉරිසියයි නෙ

    තල්ලු කරන් ගිය කරත්තෙ
    පාඩු නිසා
    ප්‍රොමෝෂන් එකක් හැටියට
    පොරව කරත්තෙට බැඳලා
    පිට චක්‍ මක්
    එතුම අතේ තෝන් ලනුව
    ඉතින් අපට ඉරිසියාව

    යන ගමනක් ඕන තැනක
    තනිව යනවනම් මොකදෑ
    මේ යකුන්ගෙ බර කරත්තෙ
    පෙරට යන්නෙ
    අපිවත් ඇදගෙන නොවේද?

    ඉරිසියාව නොවෙයි මේක
    දැනුවත් වෙන්නටයි කිව්වෙ
    කැමති උනත්
    නැතත් එකයි
    මේක අපේ අනාගතය
    පක්ෂ පාට වලට යටින්
    කාටත් පොදු කළු තීන්තෙන්
    ඇඳල තියෙන

    තව පලයන් ඉස්සරහට
    සුනිල් අයියෙ
    ජයවේවා සුනිල් මැතිට

    ReplyDelete
  15. ආපහු ආව නිකමට හොඳ කොමෙන්ට් එහෙම වැටිල තියෙනවද බලන්න. සන්තෝෂ වෙනව ආව එක ගැන

    ReplyDelete
  16. //එතුමට පින නොපෑදෙන්ට
    නම්බු පිටින්
    මහ වත්තේ තැඹිලි බාන
    කරේ තියං මග විකුණන
    සුනිල් අයිය //

    අනේ අපි කී දෙනෙක්ගෙ පින පාදවල.. සුනිල් අයියලත් කීදෙනෙක්නම් ගොඩ දාල ඇත්ද...

    //මේ මා හිතන විදිහට අද ඉන්න පොලිටික්කන් විශ්‍රාම ගියාම එන්න ඉන්න කට්ටිය තමයි.//

    ඇවිත් ඉන්න කට්ටියගෙත් පැටිකිරිය ඔයිට හුඟක් වෙනස් නෑ..

    ReplyDelete
  17. http://www.elakiri.com/forum/showthread.php?t=1175187

    me link eka poddak balanna

    ReplyDelete
  18. @ඇනෝ;

    මෙහෙන් අරන් ගිහින් එයාගේ වගේ දාගෙන නේද? ඉතාමත් නින්දිත වැඩක්.

    කවිය ගත්තට කමක් නැත. ලින්ක් එකක් දැම්ම නම් ඇති. ඒත් බැරිනම් නමවත් දැම්ම නම්.

    මේ තුශ් කියන සීනියර් එළකිරි බුවා නම කවියට ලැබෙන ප්‍රශංසා වලට තැන්කිව් කියලත් ලියලා නේ.

    ඕනනං ලියල දෙන්න තිබ්බ කවි ටිකක්. ඔයිට වඩා එයාගේ අරමුණ ඔප් නංවලා. මෙහෙමත් මිනිස්සු.

    ReplyDelete
  19. @ඇනෝ;

    ඔබට බෙහෙවින් ම ස්තුතියි මේ ගැන දැනුවත් කලාට. ඔහුට කියන්නයි යන්නේ වැඩේ වැරදි බව.

    ReplyDelete