6/6/14

නැතිවුණු සපත්තු

සින්ඩරෙල්ලා
සුරඟන මායාවෙන් හැඩවන
හවහට ගෙදරදී යළි හඩු වන
ප්‍රින්ස් චාමින් ව මග දී හමුවන
සෙරෙප්පුව ගලවා අතට දී දුව යන

ප්‍රින්ස් චාමින්
නිතර අසු අරා සරණ
ඈ යනෙන මග ගැවසෙන
වෙනත් කෙල්ලන් දිහා නොබලන
ඈ නිසාම මහ පාටියක් නටවන

සෙරෙප්පුව නැතිබව කුඩම්මට අහුවන
ඒ වෙනුවට දුන් මල් ලියුම පාවා දෙන
ණයට ගත් අසු මතින් ප්‍රින්ස් චාමින් පැමිණෙන
මහ රැයේ අසු අරා අබිනික්මන

දැන් සින්ඩරෙල්ලා
දැලි අඟුරු ගාගෙන
රෑ දොළහ පසු වූ නිසා දැන්
හඩු වෙන වැහැරෙන කැත වෙන කළු වෙන
දරු පෝලිමක් එල්ලා ගෙන

ප්‍රින්ස් චාමින් කිව්වට
කලුහාමිලාගේ ප්‍රින්ස් චාමින්
නමට කුමරෙකු වන

ණයට ගත් අසු අරා යන එන
කුරුල්ලා මෙන් නිදැල්ලේ තටු සලන
ඒ ජීවිතේ අමතක ව යන
අද කොහේ හෝ කඹුරන
හැමදාම කටවනක් බීගෙන

11 comments:

  1. න යන්නෙන් ඉවර කරන එක ණයට ගත්තේ හිතනලන්තේ කවි වලින් කියා කවුරු හෝ කියන්නේ නම් ඒ බව පිළිගන්න සූදානම්.

    ReplyDelete
    Replies
    1. කාන්චනා අමිලානි කව් ඉවර කරන ළකුණු තියේ තමා. අර වුනු තැන වුණු වුණානම් තවත් වටී.

      Delete
    2. හුදෙක් නණළල අවුලක් නොවේ. බරපතල වියරණ අවුලක්. ඔක්කොම හැදුවා. වරද පෙන්නා දීම ගැන බෙහෙවින්ම ස්තුතියි.

      එසැනින් එක පාවිච්චි කල කාලේ මම ටිකක් විතර නණළල බලනවා දන්නා තරමින්. එත් ගූගල් IME සමහර ඒවා දෙන්නේ වැරදියට. හරි එක ඔප්ෂන් වලත් නැහැ. ඊට පස්සේ මම ඒ වැඩේ නතර කළා.

      එත් මෙතන වෙච්ච එක නණළල ම නොවේ. එකෙන් පේන්නේ දැන් වියරණ ගැන මතකය ක්‍රමයෙන් ක්ෂය වෙන බවයි.

      ඔබ පෙන්නු වරද අමිලානි විරිත තුල ගොඩ දා ගත්තා කියා සිතමි. ආයිත් කියවා බලන්න.

      බෙහෙවින්ම තුති.

      Delete
  2. සින්ඩරෙල්ලා,
    දැලි ගාගෙන හැඩි වුනත්
    තාමත් සුන්දරයි උඹ
    බැරිකමක් නෑ අදත්
    යන්න කුමරෙකු අත ගෙන
    කටවනක් බී ගත්වුව
    කරදර හිරිහැර නොකරන
    අළුයම කුමරුවෙකු වෙයි
    රෑ බක බක ගාන ගෙඹි තැන .

    ReplyDelete
    Replies
    1. හිටියත් කටවනක් බීගෙන
      ඇය වෙනුවෙන්ම කඹුරන
      ප්‍රින්ස් චාමින් ඔහුමය තවම
      උනුනුන් තවමත් පෙම් කරන

      ජීවිත පැටලුන
      ගලවා නොහැකි දිවයන

      Delete
    2. රසිකා නොදකින
      මාතෘකාවේ ඇති බහු වචන

      Delete
  3. පන්දරින් ගිණි මොලවන
    දරු කැලතක රෙදි හෝදන
    ලෙඩ වුණ උන් උස්සාගෙන
    ඉස්පිරිතාලෙටත් දුවන

    සපත්තු දෙක කොහිද කොහිද
    බිඳි කෑලි කහල ගොඩේ
    දිදුල අනගි ටියාරාව
    සෝමක්කගෙ උකස් කඩේ

    ReplyDelete
    Replies
    1. කාටත් යන කලක්
      සින්ඩි හා චා දෙන්නටම

      Delete
  4. ඈහ්...අමිලානි විරිත. මේකෙ ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා රාමු කරගන්නෝනා.

    ReplyDelete
  5. ෆේස්බුක් ලින්ක් එකක් හරහා අහම්බෙන් ආවෙ. අපූරු බ්ලොග් එකක්.

    ReplyDelete