6/24/09

රතු කමිසය

රතු කමිසය
අඳින්න ද හෙට?

කළින් නම් හැම දාම ඇන්දා
බොහොම වැදගත්කමට තිබුණා
හෙට ත් අඳිමු ද?

පාසලේ නො ව හන්දියේ වූ
අසම්මතයේ පන්තියේ දී
සහෝදරයින් සමග ඇන්දා
මුලින් රතු කමිසේ…

සරසවියට ත් පැමිණිලා
නිළවරණෙට ත් පිවිසිලා
නිදා ගත්තෙත්
කෑවෙ බිව්වෙත්
සමග රතු කමිසේ…

සරසවියේ දී සංගමේ
මග තොටේ උද්ඝෝෂණේ
පෙරහරේ දිග මැයි දිනේ
නො හැර මා හා
සිටිය රතු කමිසේ…

අඳින්න ද හෙට?

රැළක් සමඟින් විසි වෙලා
විරැකියාවෙන් මිරිකිලා
වෛරයෙන් කෑ ගැසූ විට දී
නැගුණ දහදිය
මං හිතන්නේ වේලිලා

රැළටවත් සමු නොදී රහසේ
මහ රැයේ අබිනික්මණින් පසු
තනි ව බුදු වන
පුද්ගලික ආයතනයේ
හෙට යි සම්මුඛ පරික්ෂණේ

රතු කමිසය
අඳින්න ද හෙට?

1 comment: