6/26/09

කෝච්චිය

දිනය හතරට නවා
කන්තෝරු පැසේ ලා
දිව ඇවිත් හති අරින
මිනිස් රැළ

පොදි කකා එබි එබී
දැල්වෙයි ද දැන් කියා
නෙත අසන සිත පතන
කොළ එළිය

උනා ලූ අද දවස
දොස් නිදොස් දුක සතුට
කොත්තු රොටියක් වගේ
කච බචය

සෙනෙහසේ නවාතැන
සරසවා පිළි ගන්ට
ඔරලෝසුවට බණින
පිය බිරිය

ලොසින්ජරයත් සමග
උණුහුමයි හාදුවයි
ලැබෙන තුරු මග බලන
පොඩි දෑස

හැමෝගෙම සුභ සිහින
කඩා සුණු විසුණු කර
ඔච්චමට ඉඟි මරන
රතු එළිය

2 comments:

  1. හරිම ලස්සනයි කවි හැමකක්ම, දිගටම ලියන්න, සුභ පැතුම්!

    ReplyDelete
  2. මේ පද වැල් කියවන විට මට දුම්රියේ සමග උදේ හවා ගෙවුනු ඒ අතීතය සිහිවේ. කමෙන්ට් නොදැම්මත් හැම ලිපියකටම, හැම ලිපියක්ම ආසාවෙන් කියවනවා. තවත් ලියන්න.

    ReplyDelete